භික්ෂු විනය පනත සහ නවලිබරල් බුද්ධාගම

gnanasara_20161264ථෙරවාදී කතිකාවත් නීතිගත කිරීමේ පනත හරහා මුළු බුද්ධ ශාසනයම රජයේ පාලනය යටතට ගැනීමේ මෙහෙයුම ගැන අපි පසුගිය සතියේ කතා කළා. ඒ සඳහා නායක හාමුදුරුවරුන් ඇතුළු නිල ධුරාවලිය භාවිත කරන්න ආණ්ඩුව උත්සාහ කරනවා. මේ පනත නීතිගත වීම බුදු සසුන තුළ යම් ප‍්‍රමාණයකින් හෝ ඉතිරිව තිබෙන ප‍්‍රජාතන්ත‍්‍රවාදී සම්ප‍්‍රදායන් කප්පාදු කර මර්දනයකට සහ අත්තනෝමතිකත්වයකට පාර  කපනවා. මෙවැනි පනතක් තිබුණා නම් අපායට යන්නට තිබෙන පහසුම මඟ විහාරාධිපති ධුරයක් දැරීම යයි කවි ලියු යක්කඩුවේ ප‍්‍රඥාරාම හිමි, නිල ශාසන ධුරාවලියට විරෝධය දැක්වීමට උපසම්පදාව ප‍්‍රතික්ෂේප කළ උඩකැන්දවෙළ සරණංකර හිමි, භික්ෂුන් ජනතාව වෙනුවෙන් දේශපාලන අරගලයේ නිරත වීම අනුමත කරමින් ‘භික්ෂුවගේ උරුමය’‍ වැනි කෘති ලියු වල්පොළ රාහුල හිමි ඇතුළු විකල්ප සම්ප‍්‍රදායේ චින්තකයන් සියලූ‍ දෙනා ඒ දිනවල සසුනෙන් නෙරපන්න ඉඩ තිබුණා. ඒ හිමිවරුන් නිල ධුරාවලියට වගේම රාජ්‍යයටත් ප‍්‍රහාර එල්ල කළ නිසා නායක හාමුදුරුවරු සහ රජය එකාබද්ධව මැදිහත්වී ඔවුන් මර්දනය කරන්න ඉඩ තිබුණා. විනය ඉදිරියට දමමින් මේ නීතිගත කරන්නට හදන්නේ අනාගත විකල්ප භික්ෂු ප‍්‍රවණතාවයන් මර්දනය කරන ප‍්‍රජාතන්ත‍්‍ර විරෝධී පනතක්. ඒ වගේම රජය සහ ආගම අතර සම්බන්ධය තවත් ශක්තිමත් කරන නීතිමය ප‍්‍රතිපාදන සකස් කිරීමෙන් පෙනී යන්නේ ලෞකික රාජ්‍ය සංකල්පය පිළිගන්න මේ ආණ්ඩුවත් සූදානම් නැති බව. ආණ්ඩුව ගැන ඒ කාලයේ විවිධ සුරංගනා කතා කිවූ ලිබරලූ‍න් දැන් සද්ද නෑ.

ඒ අතර මේ පනතේ තවත් ප‍්‍රශ්නයක් තිබෙනවා. මේ ආණ්ඩුව ලංකාව තුළ නවලිබරල් ධනවාදයේ දෙවැනි ඉනිම පිම්මක ආකාරයෙන් ඉදිරියට ගන්න උත්සාහයක සිටින බව රහසක් නෙවෙයි. රජයේ මධ්‍යකාලීන ආර්ථික වැඩපිළිවෙළ වගේම මෙවර අයවැයත් ඒ බව ඔප්පු කරන සාධක. ජේ.ආර්. ජයවර්ධන ආණ්ඩුව 1978දී නවලිබරල් මෙහෙයුමේ පළමු අදියර ආරම්භ කරද්දී නවලිබරල් පරිභෝජනවාදී ප‍්‍රතිපත්තිය සහ සමාජය තුළ තහවුරුව තිබුණු බෞද්ධ සම්ප‍්‍රදාය අතර ගැටුමක්, ප‍්‍රතිවිරෝධයක් ඇති වන බව ඔහු කලින්ම දැක්කා. එයට ජේ.ආර්. ප‍්‍රවේශ වුණේ ජාතිවාදයත් ආගම්වාදයත් හරහා සිංහල බෞද්ධ බලවේග තමන්ගේ ව්‍යාපෘතියට

උරාගැනීමෙන්. එයට උදාහරණ ලෙස 1977 මැතිවරණයේ භාවිත කළ ‘ධර්මිෂ්ට සමාජය’‍ සටන් පාඨයේ සිට 1983 කළු ජූලිය දක්වාත් උතුරට දියත් කළ මිලිටරි මර්දනයේ සිට සිරිල් මැතිව් භාවිත කර දියත් කළ ජාතිවාදී ප‍්‍රචාරය දක්වාත් බොහෝ උදාහරණ දක්වන්න පුළුවන්. මේ මෙහෙයුමට ප‍්‍රතිවිරෝධය දැක්වූ භික්ෂු ව්‍යාපාරයන් මර්දනය කළා. ගැටඹේ පන්සල වටා  කටුකම්බි ගැසීමේ සිට තරුණ භික්ෂුන් මහමඟ ටයර් සෑවල දැවීම දක්වා බොහෝ උදාහරණ එයටත් දක්වන්න පුළුවන්.

නමුත් ඒ මෙහෙයුම එතරම් සාර්ථක වුණේ නෑ. නවලිබරල් වැඩපිළිවෙළ ඉදිරියට යත්ම බෞද්ධ සමාජයෙන් එයට ප‍්‍රතිවිරෝධයක් ආවා. පසුව ජේ.ආර්.ගේ ව්‍යාපෘතියට එරෙහි අරගල බොහෝමයක ක‍්‍රියාකාරීන් මේ සමාජ බලවේගයෙන් උපත ලද අය. ඒ විතරක් නෙවෙයි, 1980 දශකයේ අග භාගයේ දියත්වූ සන්නද්ධ අරගලයටත් භික්ෂු සමාජයේ සහ පන්සල්වල සහය හිමි වුණා. ඒ නිසා ලංකාවේ නවලිබරල් ව්‍යාපෘතිය දියත් කරන්නට යන  ඕනෑම පාලකයෙක් බෞද්ධ සම්ප‍්‍රදායන් තමන්ට අවනත කර ගැනීම ගැන විශේෂ අවධානයක් යොමු කරනවා. මැතිවරණයට පෙර මොන ලිබරල් කතා කීවත් ව්‍යවස්ථාවේ බුද්ධාගමට

ප‍්‍රමුඛතාව දීමේ වගන්තිය හොලවන්නවත්  රනිල් උත්සාහ නොකරන්නේ ඒ නිසා. ආගමික නිල ව්‍යුහයන්ට රාජ්‍ය බලය සම්බන්ධ කරන නව නීති ගෙන එන්නේ  එනිසා.

මහින්ද රාජපක්ෂ නවලිබරල් දෙවැනි ඉනිමට අත තියද්දී ජේ.ආර්.ගෙන් පාඩම් ඉගෙන ගත්තා. ඒ නිසා ඔහු එක අතකින් නවලිබරල් ප‍්‍රතිපත්තිය දියත් කරන ගමන්  අනෙක් අතින් ජාතිවාදය හා ආගම්වාදය හරහා සිංහල බෞද්ධ බලවේග තම අත්අඩංගුවේ තබා ගැනීමට උත්සාහ කළා. එක අතකින් ගෝලීය ප‍්‍රාග්ධනයට මාර්ගය විවෘත කරන අධිරාජ්‍යවාදී ව්‍යාපෘතිය ක‍්‍රියාත්මක කරන අතර අතිශය පසුගාමී ආකාරයෙන් ජාතිකවාදී කතිකාවතක් හරහා ව්‍යාජ අධිරාජ්‍ය විරෝධයක් නඩත්තු කළා. මේ සියල්ල මැද ඔහු නවලිබරල් ධනවාදයට ගැලපෙන නව බුද්ධාගමක් සඳහා අනුග‍්‍රහය ලබා දුන්නා. පසුගිය කාලයේ අසපු බුද්ධාගම, අමුතු බණ සම්ප‍්‍රදායන් සහිත බුද්ධාගම ලෙස මතුව ඇවිත් මධ්‍යම පාන්තිකයන්ගේ ආකර්ෂණය දිනා ගත්තේ ඒ ව්‍යාපෘතිය. මේ අසපු සම්ප‍්‍රදාය නවලිබරල් උමතු පරිභෝජනවාදයත් සංදර්ශනකාමීත්වයත් උපයෝගීතාවාදී ජීවන දර්ශනයත් බුද්ධාගමට උරා ගත්තා. නවලිබරල් ජීවන රටාවක් ගෙවන අතර කිසි පරස්පරයකින් තොරව බෞද්ධයන් ලෙස පෙනී සිටිය හැකි සම්ප‍්‍රදායක් බිහි කිරීම මෙහි අරමුණ වුණා. නමුත් එම ව්‍යාපෘතියට සමස්ත බෞද්ධයා ග‍්‍රහණය කර ගත නොහැකි වුණේ නිල බෞද්ධ ධුරාවලිය සහ ‘ගමේ පන්සල’‍ මේ නව බුද්ධාගමට විරෝධය පළ කළ නිසා. මහින්දගේ ව්‍යාපෘතියේ ඉතිරි කොටස සම්පූර්ණ කිරීමේ මෙහෙයුම මහින්දට වඩා වේගයෙන් පිම්මක ආකාරයෙන් සම්පූර්ණ කරන්න හිතාගෙන ඉන්න රනිල් සහ මෛත‍්‍රී මේ ඉතිහාසයෙන් පාඩම් ඉගෙනගෙන තමන්ගේම සැලැස්මක් සකස් කර ගනිමින් සිටිනවා. ඒ ජාතිවාදයට උල්පන්දම් දෙමින් මේ ආර්ථික ප‍්‍රතිපත්තියෙන් අතෘප්තියට පත් බලවේග දිනා ගැනීමට උත්සාහ කිරීමෙන් සහ නවලිබරල් බුද්ධාගමක් හැදීමේ කටයුත්ත සම්පූර්ණ කිරීමෙන්. මහින්දගේ කාලයේ නවලිබරල් බුද්ධාගම ජනප‍්‍රිය නොවුණේ එය නිල මහා සම්ප‍්‍රදායට පිටින් තිබුණු නිසා. ඒ නිසා මේ ආණ්ඩුවේ සැලැස්ම තිබෙන්නේ නවලිබරල් බුද්ධාගම නිල සම්ප‍්‍රදාය බවට පත් කරන්න. ඒක කරන්නනම් නායක හාමුදුරුවරුන් ඇතුළු නිල ධුරාවලිය ශක්තිමත් කර එයත් රජයත් අතර සම්බන්ධය ගොඩනඟන්න  ඕන.  මේ පනත කරන්නේ එක.

ආණ්ඩුවේ මේ දැක්ම තවදුරටත් තේරුම් ගන්න අපි රනිල් වික‍්‍රමසිංහ වසර දෙකකට පමණ පෙර නිකුත් කළ ‘කලියුගය’‍ පොතේ නවලිබරල් ධනවාදය සහ බුද්ධාගම අතර සම්බන්ධය ගොඩනඟන ආකාරය බලන්න.

”ඒ මක්නිසාද යත් අද, ක්ෂණ භංගුරතාවය හෙවත් සියල්ල මොහොතින් වෙනස්වන, නැසෙන සුළු බව වෙන කවරදාටත් වඩා දැනෙමින් තිබෙන නිසා යැයි මට සිතේ. මේ ලිපිය කියවන ඔබ සතුව පවතින ජංගම දුරකතනයේ ඇති පහසුකම් ඔබ එය මිලදී ගෙන සාප්පුවෙන් එළියට එන නිමේශයට වෙනස්වී තිබීම යථාර්ථයයි. එබැවින් එය පරණ වැඩියයි සිතා යළි සාප්පුවට ගොස් අලූ‍ත් කරගෙන එළියට එන මොහොත වන විට එය තවදුරටත් වෙනස් වී තිබේ. වෙනස්වීම ලොව පිළිගත් ධර්මතාවක් බවට පත්වී තිබේ. කෑම බීම, ඇඳුම් පැළඳුම්, ඉඳුම් හිටුම්, සිතුම් පැතුම් ආදී සියල්ල ඉක්මනින් වෙනස් වන බව කවුරුත් දනිති, අදහති. ථේරවාදී බුදු දහමේ හරය මෙය නොවේද?”‍

රනිල් කරන්නේ සමාගම්වල ලාභ ඉපයීම වෙනුවෙන් අද මිලදී ගත් භාණ්ඩය හෙට යල් පැනගොස් ඇති බවට මතයක් හදා අලූ‍තින් තව තවත් භාණ්ඩ විකිණීමේ වෙළඳපොළ ධනවාදී ක‍්‍රියාකාරීත්වය බුදු දහමට එකඟ බව තහවුරු කිරීමය.

”‍ගෝලීයකරණය සංකල්පය දාර්ශනිකව වටහාගත් ප‍්‍රථම දහම බුදු දහම යැයි සිතමි. එලෙසින් බෞද්ධයන් වශයෙන් නූතන ලෝකය අපට යථා පරිදි තේරුම් ගත හැක්කේ බුදු දහම මත පිහිටා මිස ඉස්ලාම් හෝ කතෝලික හෝ අනකුත් ආගම්වල වන දෘෂ්ටීන් හෝ මූලධර්ම මත එල්බගෙන නොවේයැයි සිතමි.”‍

රනිල්ගේ උක්ත දැක්ම නවලිබරල් ධනවාදී ගෝලීයකරණය සහ බුද්ධාගම එකිනෙකට සම්බන්ධ කර නවලිබරල් ව්‍යාපෘතියට ජනගහනයේ බහුතරය වන බෞද්ධයන්ගේ ප‍්‍රතිවිරෝධය සමහන් කිරීම බව පැහැදිලිය. නව පනත හරහා කරන්නට යන්නේ මේ සඳහා බෞද්ධ ශාසන ව්‍යුහයන්ම භාවිත කිරීමටය. එනිසා උක්ත පනත ප‍්‍රජාතන්ත‍්‍ර විරෝධී වනවා පමණක් නොව නවලිබරල් ධනවාදයට සමාජය ගොදුරු කිරීමේ හා අවනත කිරීමේ ව්‍යාපෘතියකි. සුධීර ප‍්‍රභාෂ්වර