මහින්දගේ අලූත් පක්ෂය එයිද? නැද්ද?

 

sword

මෛත‍්‍රීපාල සිරිසේන ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති වූවාට ඔහුට පාක්ෂිකයන්ගේ අවනතභාවය නැත. ඔහු වටා සිටින්නේ පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් පිරිසකි. ඉදිරි වසර පහක කාලය තුළ විධායක ජනාධිපති ධුරය හොබවන්නේ මෛත‍්‍රීපාල සිරිසේන නිසා ඔවුහු ඔහු පසුපස පෙළ ගැසී සිටිති. එහෙත් පක්ෂයේ පසුපෙළ කණ්ඩායම් තවමත් සිටින්නේ මහින්ද රාජපක්ෂ සමඟයි. ප‍්‍රාදේශීය සභා මන්ත‍්‍රීවරු සහ පළාත් සභා මන්ත‍්‍රීවරු තවමත් මහින්ද යන යන තැන්වලට යමින් සිටිති.

ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය දෙකඩ කර නව දේශපාලන පක්ෂයක් ගොඩනැඟීම පිළිබඳ කතිකාව කාලයක් තිස්සේ කරළියේ ප‍්‍රධාන මාතෘකාවක් බවට පත්ව තිබේ. 2015 වසරේ ජනවාරි 08 වැනිදා මහින්ද රාජපක්ෂ පරාජයවූදා සිටම එම කතිකාව අඩු වැඩි වශයෙන් දිගටම පැවැතිනි.

ජනවාරි 26 වැනිදා මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන්ගේ 73 වැනි ජන්ම දිනය නිමිත්තෙන් පැවැති උත්සවය අවස්ථාවේදී මහින්ද රාජපක්ෂ ඇතුළු කණ්ඩායම කරන ලද ප‍්‍රකාශ මෙම සාකච්ඡුාවේ යම් සන්ධිස්ථානයක් ලෙසින්ද හඳුනා ගත හැකිය.

මාධ්‍යවේදීන් නඟන ලද ප‍්‍රශ්නවලට පිළිතුරු දෙමින් ආරක්ෂක අමාත්‍යාංශයේ හිටපු ලේකම් ගෝඨාභය රාජපක්ෂ පැවසුවේ, නව දේශපාලන පක්ෂයක් අත්‍යවශ්‍යම මොහොතක් දැන් උදාවී තිබෙන බවයි. බණ්ඩාරනායක මහතාද නව දේශපාලන පක්ෂයක් බිහි කළ බව ඔහු පැවසුවේය.

විමල් වීරවංශ හිටපු ඇමැතිවරයා පැවසුවේ, නව දේශපාලන ව්‍යාපාරයක් බිහි වීම ස්ථිර බවත් එහි නායකත්වය මහින්ද රාජපක්ෂ විසින් හොබවනු ඇති බවත්ය.

මහින්ද සුපුරුදු ලිස්සා යාමේ කෛරාටික උත්තරයම දුන්නේය. කවුරුත් කැමතියි මාත් එක්ක තරග කරන්න යැයි ඔහු කීවේය.

මෙම ප‍්‍රශ්න කිරීම්වලදී මාධ්‍යවේදීන් ‘වැදගත්’ ප‍්‍රශ්නයක් ගෝඨාභය රාජපක්ෂ වෙත යොමු කළේය. එනම්, ‘නව දේශපාලන ව්‍යාපාරයේ නායකයා ඔබද?’ යන්නයි. ගෝඨාභය රාජපක්ෂ ඊට දුන්නේ දේශපාලන පිළිතුරකි. මීට පෙර මෙවැනි ප‍්‍රශ්නවලදී රාජ්‍ය නිලධාරියකු ලෙස පිළිතුරු දුන් ඔහු මෙවර කීවේ, එය එම නව දේශපාලන පක්ෂයේ සාමාජිකයන් විසින් තීරණය කරනු ඇති බවයි.

මේ ප‍්‍රකාශවලින් හැෙඟන්නේ මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන්ගේ ජන්ම දින පිංකමට සහභාගි වුවද මේ කණ්ඩායම බණ අසා නැති බවයි. හාමුදුරුවන් බණ කියන අතර මේ පිරිස වෙන කතාවක් කුටු කුටු ගාමින් සිටින්නට ඇති බව පැහැදිලිය.

නව දේශපාලන ව්‍යාපාරයක අවශ්‍යතාව තිබෙන්නේ මහින්ද රාජපක්ෂට හෝ රාජපක්ෂ පවුලේ වෙනත් අයකුට නොවේ. එහි අවශ්‍යතාව ඇත්තේ විමල් වීරවංශ, උදය ගම්මන්පිල, වාසුදේව නානායක්කාර, දිනේෂ් ගුණවර්ධන ආදීන්ටය. ඔවුන්ට ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් ස්වාධීන දේශපාලන ගමනක් තවමත් නැත. ඉදිරියේදී ඇති වෙතැයි විශ්වාස කිරීමද පහසු නැත. ඉදිරි මැතිවරණයකදී ඔවුන්ට පාර්ලිමේන්තුවට රිංගා ගැනීමටත් රටේ යම් මතයක් නියෝජනය කරන කණ්ඩායමක් ලෙස පෙනී සිටීමටත් හැකියාව ලබා ගැනීමට නම්, නිසැක ලෙසම ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඡුන්ද ඔවුන්ටද අවශ්‍යය.

එහෙත් ඔවුන් දෙවැනි විකල්පයක්ද තෝරා ගෙන තිබෙන බව පෙනෙන්නට තිබේ. එනම්, මෛත‍්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා සමඟ එකඟතාවකට යාමයි. මෛත‍්‍රී දැන් රතු එළි නිවා, කොළ සහ කහ එළි මාරුවෙන් මාරුවට පත්තු කරමින් සිටින බව පෙනෙන්නට තිබේ.

ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය කඩන්නේ නම් එය කළ යුත්තේ මේ මොහොතේය. තවත් මාස කිහිපයක් ඉක්ම යන විට මහින්ද පාක්ෂිකයන්ගේ ඉවසීම අඩු වී යනු ඇත. ඊට සාපේක්ෂව මෛත‍්‍රීපාල පක්ෂය තුළ තමන්ගේ බලය ව්‍යාප්ත කර ගැනීමට කටයුතු කරමින් සිටියි. ඔහුද එක්සත් ජාතික පක්ෂයෙන් තීරණාත්මක ලෙස වෙන් වීමට කල් යල් බලමින් සිටින බව පැහැදිලිය.

ජනවාරි 15 වැනිදා වාරියපොළ ඞී.බී. හේරත් පළාත් සභා මන්ත‍්‍රීවරයාගේ නිවසේ පැවැති වැඩසටහනද මහින්දවාදීන් විසින් මාධ්‍යයට හඳුන්වා තිබුණේ නව දේශපාලන ව්‍යාපාරයක ආරම්භයක් ලෙසින් බවයි.

මාධ්‍යවේදීන් වෙත උත්තර දෙමින් මහින්ද රාජපක්ෂ පවසා තිබුණේ, ”මම නම් පක්ෂ හදන්න මැදිහත් වෙන්නේ නෑ. ඒත් රටට විපක්ෂයක්  ඕන. එක්සත් ජාතික පක්ෂයත් ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයත් ජනතා විමුක්ති පෙරමුණත් ටී.එන්.ඒ. එකත් ෆොන්සේකාගේ පක්ෂයත් ආණ්ඩුවේ. විපක්ෂයේ මතය නියෝජනය කරන ජනතාව ගොනු වෙන්නේ කොතැනටද? මම මැදිහත් නොවුණට මිනිස්සු මැදිහත් වෙලා පක්ෂයක් හදා ගනීවි. ඒකට නායකයෙකුත් තෝරා ගනීවි.” යනුවෙනි.

නව පක්ෂයක් පිහිටුවීමේදි මහින්ද ගැටලූ දෙකකට සිර වී සිටින බව පෙනෙන්ට තිබේ. එකක් පන්ති ප‍්‍රශ්නයයි. බණ්ඩාරනායක ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය බිහි කිරීමෙන් පසුව ලංකාවේ දේශපාලන බලය එජාපය හා ශ‍්‍රීලනිපය අතර දෝලනය විය. ඉන් එක් කඳවුරක් හෝ දුර්වල වුවහොත් එම හිස්තැන වම විසින් පුරවනු ලැබීමේ ‘අවදානමක්’ ඔවුන්ට තිබේ. ඒ නිසා ගොඩනඟන්නේ නම් ගොඩනැඟිය යුත්තේ එජාපය පරාජය වන විට ආණ්ඩු බලය ගත හැකි පක්ෂයක් මිස පාර්ලිමේන්තු ආසන 225 කොටස් තුනකට කැඞීමට හේතුවන පක්ෂයක් නොවේ.

ඊට මහින්දගේ පෞද්ගලික රුචිකත්වයද වද දෙමින් තිබෙන බව පැහැදිලිය. ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය කඩා දැමූ පුද්ගලයා ලෙස මියැදීමට ඔහුගේ කැමැත්තක් නැත. අවසාන කාලයේ ඔහුගේ දේශපාලන ඉලක්කය නාමල් රාජපක්ෂ කේන්ද්‍ර කර ගෙන ගොඩනැඟී තිබිණි. දැන් නාමල්ට ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය තුළ ගමනක් තිබේ. එය මහින්දගේ ගමන මෙන්ම අසීරු සහ තැලීම්, පොඩිවීම් සහිත එකක් වී ඇත. නව පක්ෂයක් මඟින් ඔහුගේ ගමන තවත් මොට වේදැයි යන සැකයද මහින්දගේ හිස වටා කරකැවෙමින් තිබෙන බව ඔහුට සමීපතමයෝ පවසති.

විමල්ලා, ගම්මන්පිලලා, දිනේෂ්ලා එක් වී මහින්ද රාජපක්ෂගේද ආශිර්වාදය සහිතව ගෝඨාභය හා බැසිල්ගේද උදව් ඇතිව නව දේශපාලන ව්‍යාපාරයක් සඳහා භූමිය සූදානම් කර අවසන්ය. නව පක්ෂය පිහිටුවන්නේ ඉහළ සිට පහළට නොව පහළ සිට ඉහළට යැයිද නායකයකු තෝරා ගන්නේ සාමාජිකයන් විසින් යැයිද ඔවුන් පවසන්නේ සැබැවින්ම එය ඔවුන්ගේ උපක‍්‍රමය නිසා නොව අන් කළ හැකි දෙයක් නැති නිසාය.

රට පුරා ඔවුන් සංවිධාන පිහිටුවා, නව දේශපාලන ව්‍යාපාරයකට ශ‍්‍රීලනිප පාක්ෂිකයන්, මන්ත‍්‍රීවරුන්, සංවිධායකවරුන් එකඟ කරවාගෙන සිටියත් ඒ අනුව ඔවුන් මතින්

ඡුායා මාත‍්‍රික පක්ෂයක් පිහිටුවා තිබුණත් ඔවුන් ඉල්ලන්නේ මහින්ද රාජපක්ෂගේ හෝ ගෝඨාභය රාජපක්ෂගේ නායකත්වයයි. එහෙත් ඔවුන් දෙදෙනාම තවමත් සිය පාක්ෂිකයන් වටේ යවමින් සිටිනවා මිස ඍජු පිළිතුරක් දෙන්නේ නැත. ඒ වෙනුවට ඔවුන් තෝරා ගෙන තිබෙන්නේ මෛත‍්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා තව තවත් පීඩනයට ලක් කරමින් ඔහු තමන්ගේ කොන්දේසි ඉදිරියේ අවනත කර ගැනීමේ මාවත යැයි කෙනෙකුට සිතෙන්නේ නම් එහිද වරදක් නැත. කෙසේ වෙතත් මේ ප‍්‍රශ්නය ඉදිරි ඉතා කෙටි කාලයක් තුළ විසඳෙනු ඇති බව නම් නිසැකය.

ජනක තුෂාර