හොර ඇත් දළ නාටකය

IMG_0133

ඇත් දළ ජාවාරමට එරෙහිව ලංකාවේ පාලකයන් අපූරු තීන්දුවක් ගත්තේය. ඒ තමන් අත්අඩංගුවට ගත් රුපියල් මිලියන 368කට වඩා වටිනාකමකින් යුත් ඇත් දළ 361ක් ගාලූමෝදරදී කුඩු කර විනාශ කිරීමය. මෙය සත්වවේදීන්ට පරිසර හිතකාමීන්ට මෙන්ම ලිබරල්වාදීන්ටද සතුට ගෙන දෙන ක‍්‍රියාවක් වනු ඇත.

එහෙත් මෙය ලෝක පරිමාණයෙන් සිදු කෙරෙන වංචාවකි. තවත් අතකින් ධනවාදී කෲරත්වය වසං කිරීමට ගන්නා ලැජ්ජා විරහිත වැඩකි.

ඇත් දළ පසු පස ඇත්තේ වන ජීවී සංහාරයකි. ධනවාදය තුළ ඇත්තේ වනජීවීන් පමණක් නොව සංස්කෘතීන් පවා අකා මකා දමන සංහාරයක කතාවකි. එය අප මෑතකාලයේදී ඉරානයේදී

ඇෆ්ගනිස්ථානයේදී සිරියාවේදීද අත්දකිමින් සිටිමු.

ඇත් දළ පසුපසින් දස දහස් ගණන් සතුන් බියකරු වදහිංසාවලට ලක්වූ ඛේදවාචකයක කතාවක් ඇත. ඇත් දළ සොබාදහමේ අපූරු නිර්මාණයක් වූවාට ඒවාට ඇත්තේ ඒ අපූර්වත්වය නොව ලේවැකි  කතාවකි.

ඒවා ගොඩ ගසා ඇති විට අප රටේදී අපට එක්වරම මතකයට එන්නේ ඇත්දළ නොවේ. මන්නාරමේ මාතලේදී හමුවූ සමූහ මිනී වළවල්ය. සමූහ මිනීවලවල් මඟහැර යන සමාජය ඇත් දළ සංහාරයද මඟහැර යන්නේය. එසේ මඟහැර යන අතරතුර ගැලවිජ්ජාවට ලොව පුරා ධනේශ්වර රාජ්‍ය මෑත දශක කිහිපයක සිට තමන් ඇත් දළ ජාවාරමට එරෙහිව කටයුතු කරන්නේය. ඒ සඳහා ජන මතයක් ගොඩනඟන්නේය කියා ප‍්‍රසිද්ධියේ ඇත් දළ කුඩු කොට විනාශ කරනු ලබන්නේය. ලංකාවේදී පසුගියදා රඟදැක්වූයේ එහි අලූත්ම ජවනිකාවය. ඒ අනුව ලංකාවද ඇත් දළ ජාවාරමට එරෙහිව ප‍්‍රසිද්ධියේ කි‍්‍රයා කරන රටවල් ගොන්නට ඇතුළත් වන්නේය.

ඇත් දළ වෙළෙඳ භාණ්ඩයක් වූයේ අද ඊයේ නොවේ. ලංකාවේදී එය යුරෝපා ජාතීන්ට රඟමඩලක් වීය. සතුන් දඩයමේදී ප‍්‍රමුඛ දඩයමක් වූයේ අලි ඇතුන්ය. එය වෙළෙඳාම හා සම්බන්ධ භාණ්ඩයක්ද විය. අලි ඇතුන්ට සිය ආරක්ෂාවට කළ හැකි කිසිවක්ම නොවීය. බලහත්කාරයට යටවීම වෙනුවට පෙරළා සිය රැුළ වෙනුවෙන් අරගල කළ පනාමුරේ හස්තියා අපට හමු වන්නේ මේ ඛේදනීය කතාවේ සුවිශේෂී සිදුවීමක් ලෙසය. එනිසා දඩයම් යුගයේ සිට වත්මන් වෙළෙඳපොළ ධනවාදය දක්වා අනුවේදනීය කතාවක් ලොව පුරා ලියැවී තිබේ.

එහෙත් අද අපටද අලි ඇතුන්ටද මුහුණට මුහුණ හමු වන ප‍්‍රශ්නය අලි මිනිස් ගැටුමය. එය ලංකාවේදී දිනපතා

මුණගැසෙන අත්දැකීමකි. ඉඳහිට ඉදිවන අලිවැටක් මිස ධනවාදයට මේ පිළිබඳ පිළිතුරු නැත. ඔවුන් ඒ වෙනුවට ප‍්‍රශ්නය තවදුරටත් සංකිර්ණ කරනු ලැබ ඇත.

මේ හා බැඳුනු නිදසුන් ලංකාවේදී  ඕනෑ තරම් අපට මුණගැසේ. විල්පත්තු කැලයට අලි මංකඩක් වූ ගල්ගමුවේ සංඛපාලිය පසු කාලීනව දේශපාලකයන් විසින් සිය හෙංචයියන් වෙනුවෙන් බෙදා දෙනු ලැබීය. පිළිතුර වූයේ අලින් විල්පත්තුවට යාම වෙනුවට ගම්වැදීමය. මෙසේ ඇවිල යන අලි මිනිස් ගැටුමේ තවත් සිදුවීමක් අප දුටුවේ සිය වගාව ආරක්ෂා කරගැනීමට අලින්ට විදුලි රැුහැන් ඇටවූ ගොවියකුගේ ක‍්‍රියාවකින් අලින් දෙදෙනකු එකවර මිය යාමය. මෙසේ ලංකාවේ අලි මිනිස් ගැටුම දෛනික ජීවිතයේ ප‍්‍රමුඛ ප‍්‍රශ්නයක්ව ඇත. ඒවාට ඇත්තේ වැනසීයාමේ පිළිතුරු විනා සුරැුකීමේ මාවත් නොවේ. එය මිල පිළිබඳ නොව වටිනාකම පිළිබඳ ප‍්‍රශ්නයකි.

ලොව පුරා ප‍්‍රචලිත මිලියන ගණනින් ලාභ උපයන සුකුරුත්තම් වැඩවල සිට මිලිටරි උපකරණ වෙනුවෙන්ද යොදා ගැනෙන ඇත්දළ ලෝක වෙළෙඳපොළ තුළ ඉල්ලූමක් ඇති වෙළෙඳ භාණ්ඩයකි. එහි ප‍්‍රමුඛතම ගැනුම්කරුවා චීනයයි. දෙවැන්නා එක්සත් ජනපදයයි.

එහෙත් ප‍්‍රසිද්ධියේ ඇත් දළ විනාශ කර ඇත් දළ ජාවාරමට එරෙහිව විරෝධය පළ කරන රටවල් අතර චීනයද එක්සත් ජනපදයද සිටී. චීනයද එක්සත් ජනපදයද මෑතකාලයේදී ප‍්‍රසිද්ධියේම ගාලූමෝදරදී මෙන් ඇත් දළ විනාශ කර දැමීය. මෙසේ මෑතකාලයේදී විනාශ කරන ලද ඇත් දළ ප‍්‍රමාණය ටොන් ගණනකි. එමෙන්ම වාර්ෂිකව ඇත්දළ ජාවාරම වෙනුවෙන් දැනුවත්ව ලොව පුරා මරා දැමුණු ඇතුන්ගේ ගණන දස දහස් ගණනකි.

කෲරත්වය ඉහවහා ගිය තැන. ඊට එරෙහි ජන විරෝධයද පළ වන්නේය. අද ලොව පුරා නැෙඟන විරෝධය සිය සාක්කුවට දමා ගනිමින් ජාවාරමද පවත්වා ගැනීම ධනවාදයේ ක‍්‍රමවේදය වී තිබේ. ඒ සඳහා යොදා ගැනෙන ජනප‍්‍රිය විරෝධයකි ප‍්‍රසිද්ධියේම ඇත් දළ විනාශ කිරීම.

ධනවාදය අපට ගෙනවිත් ඇත්තේ ජීවිතය නොවේ. එහෙත් එය හැමවිටම අපට අපූර්වත්වය පෙන්වා දෙයි. අපූර්වත්වයට යටින් ඇත්තේ කෲරත්වය පිළිබඳ වෙළෙඳාමයි. සියල්ල මිල කරන තරගයකි. එහි ඇලී ගැලී සිටින අපට නිදහස පිළිබඳ ඇත්තේද පටු අදහසකි. ඒ නිසා අපද මේ ජවනිකාවලට අත්පොළසන් දේ නැතිනම් විපිළිසර වේ. පිළිතුර එය නොවේ. සොබාදහමේද මිනිසාගේද ඒකත්වයද විමුක්තියද වෙනුවෙන් ධනවාදයට එරෙහිව සාමුහිකත්වය සොයා යාමය.

සමන්ත වර්ණසූරිය