අපි නැවත හමුවෙමු!

නැවත නැවතත් උදම් රළක් සේ නැග එන මූල්‍ය දුෂ්කරතා නිසා මේ කලාපයෙන් පසුව ‘ජනරළ’ සඳහා තාවකාලික විරාමයක් තබන්නට අපට සිදුව තිබෙනවා. ආරම්භ කළ මොහොතේ සිට මේ දක්වා අවස්ථා කිහිපයකදී අපට මේ විරාමය තබන්න සිදු වුණා. ඒ සෑම අවස්ථාවකදීම ඒ සඳහා බලපෑවේ මූල්‍ය දුෂ්කරතා. මෙවරත් අපව බිම දමා තිබෙන්නේ ඒ ප‍්‍රාග්ධන ආධිපත්‍යයේ සතුරාමයි. ඒ අප කොන්දේසි විරහිතව සටන් වදින සතුරා. කෙසේ වෙතත් අප තාවකාලිකව අඩිය පසුපසට ගන්නේ කවර හෝ ආකෘතියකින් පෙරටත් වඩා වැඩි සවියක් සහිතව යලි ඔබ හා එක්වන අදිටනින්.

ආරම්භයේ සිටම ‘ජනරළ’ නියෝජනය කළේ දේශපාලනය. අප සිටියේ නිර්-දේශපාලනීකරණයට එරෙහි තැනක. පුවත්පතක අරමුණ ඊනියා නියෝජිත  ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ නමින් ජනතාව මැතිවරණයකදී ඡුන්දය දීමට පමණක් සීමා කර, ඉන් අනතුරුව පොදු ජනතාව දේශපාලනයෙන් ඈත් කරවීමට එරෙහිව ජනතාව දේශපාලනයට කැඳවීම බව අප විශ්වාස කළා. දෛනික ජීවිතයේ තමන් මුහුණ දෙන ප‍්‍රශ්න වගේම දේශපාලන-ආර්ථික-සමාජ-සංස්කෘතික ප‍්‍රශ්න අප කාටවත් පුද්ගලිකව එන ප‍්‍රශ්න නොවන බවත්, පුද්ගලිකව ඒවාට පිළිතුරු සෙවිය නොහැකි බවත්, මේ ප‍්‍රශ්න සමාජමය වන අතර සමාජමය ලෙස ඒවාට පිළිතුරු සෙවිය යුතු බවත් ජනතාවට ඒත්තු ගන්වන්න අප උත්සාහ කළා. ඒ වගේම ඒ දේශපාලනය ජනතාව රවටන දේශපාලනයක් වෙනුවට ජනතාවගේ බහුතරයක් වන වැඩකරන පන්තියේ අභිලාෂයන් නියෝජනය කරන දේශපාලනයක් විය යුතු බව අප විශ්වාස කළා.

ඒ නිසා අප මධ්‍යස්ථ හෝ අපක්ෂපාතී නැහැ. අපි පීඩාවට, සූරාකෑමට, අවමානයට සහ අයුක්තියට පත් ජනතාවට පක්ෂපාතී බව අපි හැමදාමත් නොසඟවා, විවෘතව කිව්වා. අපට සැඟවීමට යටි අරමුණු කිසිවක් තිබුනේ නැහැ. ‘ජනරළ’ සමස්ත භාවිතයම පීඩාවට පත් තැලෙන, පෑගෙන ජනතාව වෙනුවෙන් වන මාධ්‍ය භාවිතයක් වුනා. අපේ තේමාව ‘සටන් කරන අකුරු’. අපි අකුරු හරහා සටන් කළා. ඒ සටන අපට පිටතින් මෙන්ම අප තුළමත් පවතින අගතීන්ට එරෙහි සටනක්. එය ඉතා අසීරු සටනක් බවත් ප‍්‍රාග්ධන ආධිපත්‍යය විසින් සියල්ල තීරණය කරන සමාජයක වාමාංශික පුවත්පත් කලාව පහසු නොවන බවත් අප දැන සිටියා. එහෙත් පැවැත්ම වෙනුවෙන් හෘදසාක්ෂිය බිලිදීමේ මාවත වෙනුවට හදවත ගැහෙන හඬට සවන් යොමු කිරීමේ මාවත අප තෝරා ගත්තා.

ගෙවුණු ඉතිහාසය පුරාම මේ දිවයිනේ හතර කොන කොතැනක හෝ සටන් වදින ජනතාවගේ සටන් බිම් තුළට ‘ජනරළ’ ගියා. අසාධාරණයට පත් කවරෙකු වෙනුවෙන් හෝ අප තනිවමත් හඬ නැගුවා. වත්මන් සමාජයේ අර්බුදය ගැනත්, වාමාංශික විකල්පයක් ගැනත් අප කිවූ බොහෝ දේ සමාජය පිළිගත්තා. එය වැරදි බවට අභියෝග කෙරුණේ ඉතාම කලාතුරකින්. අහම්බයකින්. ‘ජනරළ’ මතුකළ දේශපාලනය මතවාදයක් ලෙස සමාජ අනුමතියකට ලක්වුනාට අප යෝජනා කළ දේශපාලන ක‍්‍රියාකාරීත්වයට බොහෝ දෙනා පැමිණියේ නෑ. එය ජනරළේ අපේ සීමාවන් වගේම සමාජයේ දේශපාලන සවිඥානක බවේත් සීමාවන් නිසා උපත ලද සංකීර්ණ තත්වයක ප‍්‍රතිපලයක් බව අපි දන්නවා. එමෙන්ම එය පුවත්පතකට පමණක් සම්පූර්ණ කළ නොහැකි දුෂ්කර සමාජ-දේශපාලන ව්‍යවහාරයක් බවත් අප දන්නවා. ප‍්‍රාග්ධනයෙන් අපට එල්ල වන අභියෝගය ජය ගත හැක්කේ වැඩකරන ජනතාවගේ සහ පීඩාවට පත්වූ ජනතාවගේ බහුතරයක් එවැනි පන්තිමය දේශපාලන ක‍්‍රියාකාරීත්වයකට ප‍්‍රවේශ කර ගැනීමෙන් බවට විවාදයක් නැහැ. ‘ජනරළ’ නැවතුනත් ඒ අභියෝගය භාර ගැනීම ‘ජනරළ’ට ලියු, විවිධ අයුරින් සහය දුන් හැම දෙනා වගේම ‘ජනරළ’ කියවූ ඔබත් අත නොහරින බව අපට විශ්වාසයි.

ඒ නිසා අපට හමාර කීමක් ලියන්න හෝ, සමුගැනීමක් කරන්න අයිතියක් නෑ. සටන වෙනත් වේදිකාවකට මාරු වුණා පමණයි. මෙතෙක් අකුරු හරහා කළ සටන, අකුර ඉක්මවා ගිය ආකෘතියකට ගෙනෙන්න ‘ජනරළේ අපි’ වෙහෙස වෙනවා. ඒ සටන් බිමේදී අප-ඔබ නැවත හමුවෙනවා. ඒ නිසා මෙය සමුගැනීමක් නෙවෙයි. නැවත අලූත් බිමක පරණ අභියෝගය සහ පරණ සතුරා සමගම සටන් වැදීම සඳහා හමුවීමට කරන ආරාධනයක්. ඇතැමෙක් ‘ජනරළ’ නිහඬ වූවා කියා සිතිය හැකියි. එහෙත් නිහඬතාව යනු හඬ නැගීම් දෙකක් අතර ඇති විරාමය.

නිහඬතාව යනු එක හඬක සිට තවත් හඬකට ඇති පරතරය. ඒ නිසා අපට මෙය නිහඬතාවයක් නෙවෙයි, වඩා උස් ලෙස නැගෙන මීළඟ හඬ සවන් වැකෙන තුරු ගන්නා තාවකාලික විරාමය. ඒ හඬ නැගීම සඳහා ස්වර තන්තු සුසර කර ගැනීමට ගන්නා කාලය. ඒ නිසා හඬ නගන්නන්ට මේ විරාමයත් බර වැඩ සහිත වැඩබිමක්. ඒ වැඩබිමට එන්නට, එකට වැඩ කරන්නට, එකිනෙකාගේ දහදිය සුවඳ පවා දැනෙන තරමට සහෝදරාත්මකව සමීප වන්නට, ඉන් පසු යළිත් වඩාත් උස් හඬින් හඬ නගන්නට ඔබටත් ආරාධනා.

අපි ඒ වැඩබිමේදී හමුවෙමු!

Advertisements