ඖෂධ ජාවාරමේ අලුත්ම සෙල්ලම් – ඇමැති රාජිත පිළිතුරු දෙනු!

doctorsසති දෙකකට පෙර ‘ජනරළ’ පුවත්පතේ ප‍්‍රධාන සිරස්තලය වාර්තා කර තිබු ආකාරයට ඖෂධ නියාමන අධිකාරියේ සභාපති මහාචාර්ය ලාල් ජයකොඩි සහ උප සභාපති ක‍්‍රිශාන්ත වීරසූරිය දේශපාලන බලපෑම් නිසා ඉල්ලා අස්වී තිබුනා. ඖෂධ වර්ග කිහිපයක් අනුමත කරන ලෙස ඇමැතිවරයා අධිකාරියට කළ නියෝගය   ඉටු කිරීම ප‍්‍රතික්ෂේප කළ නිසා අධිකාරියේ ප‍්‍රධානීන්ට ඉල්ලා අස්වීමට සෞඛ්‍ය ඇමැති රාජිත සේනාරත්න බල කර ඇති බව එහි දැක්වුනා.
පසුගිය සතියේ ජනරළ කතුවැකිය කතා කළෙත් ඒ ගැන. අපි මේ උත්සාහ කරන්නේ සෞඛ්‍ය ඇමැතිට එතරම් ‘ඩෝං ගිය‘ ඖෂධ ගැන තොරතුරු කිහිපයක් විමසා බලන්න. මේ ඖෂධ අනුමත නොකිරීමට ඒ පිළිබඳ විශේෂඥයන් කටයුතු කළේ මොකද කියලා මේ තොරතුරු කියෙව්වාම තේරෙයි. සෞඛ්‍ය ඇමැති ඒ තීරණ ගැන කිපෙන්නේ මොකද කියන එක තේරුම් ගන්න නම් එෆ්.සී.අයි.ඞී. පැත්තේ ගිහින් තුන් තේරවිල්ලක් විසඳන්න වෙනවා.

සාමාන්‍යයෙන් ලංකාවට ගෙන්වන, ලංකාවේ බෙදා හරින හැම ඖෂධයක්ම ලියාපදිංචි කරන්න  ඕන. ජාතික ඖෂධ නියාමන අධිකාරිය පිහිටුවීමෙන් පසුව ඒවා ලියාපදිංචි කිරීමේ බලය තිබෙන්නේ ඒ අධිකාරියට. මතබේදය ඇති වුනේ ඖෂධ කිහිපයක් ලියාපදිංචි කිරීම අධිකාරිය ප‍්‍රතික්ෂේප කළ නිසා. මේ කතාව තේරුම් ගන්නනම් ඖෂධ ජාවාරම ගැනත් තේරුම් ගන්න වෙනවා. එකම ඖෂධය එක එක සමාගම් වෙන වෙන නම් වලින් අලෙවි කරනවා. ඒ සඳහා තිබෙන්නේ විවිධ මිල ගණන්. සූරාකෑම සිදු වෙන්නේ මේ මිල නියම කිරීම හරහා. උදාහරණයක් විදියට කොලෙස්ටෙරෝල් සඳහා භාවිතා කරන ඇවස්ටසින් නමැති ඖෂධයේ විවිධ වෙළඳ නාම 172ක් තිබෙනවා. මොන නම තිබුනත් ඒ එකම ඖෂධය. ගැස්ට‍්‍රයිටීස් සඳහා භාවිතා කරන ඔමිට‍්‍රසෝල් වර්ග 70ක් පමණ තිබෙනවා. දියවැඩියාවට භාවිතා වන වීක්ලසයිඞ් නම් ඖෂධය විවිධ නම් 70කින් පමණ අලෙවි වෙනවා. ලිංගික අප‍්‍රාණිකත්වය සඳහා භාවිතා කරන සිල්ඩෙනෆිල් මේ ජාවාරම ගැන හොඳ උදාහරණයක්. එහි වර්ග 70ක් පමණ ලංකාවේ වෙළඳපළේ තිබෙනවා. ලිංගික අප‍්‍රාණිකත්වය එතරම් සුලභ ලෙඩක් නොවන නිසා එතරම් ඖෂධ වර්ග ප‍්‍රමාණයක් අවශ්‍ය නෑ. නමුත් වර්ග ගණනාවක් තිබෙන නිසා සමාගම් ඒවා විකුණා ගන්න ලෙඩක් නැති අයටත් ඒවා පොවන සංස්කෘතියක් හදනවා. සිල්ඩෙනෆිල් ලිංගික ශක්තිය වඩවන ඖෂධයක් විදියට බොරු අර්ථ කථනයක් කරලා ලංකාවේ ෆාමසිවල ඒවා තොග ගණනේ කිසිම අසනීපයක් නැති අයට විකුණනවා.
ඖෂධවල මිල පරතරයත් මේ සමඟ බැඳී තිබෙනවා. උදාහරණයක් විදියට ඩයික්ලොෆෙනෙක් සෝඩියම් වේදනා නාශකය පෙත්තක් රුපියලේ සිට රුපියල් 40දක්වා මිලකට අලෙවි වෙනවා. ඖෂධීය නාමයෙන් ආනයනය කරද්දී රුපියල් 1.90ක් වෙන ඇමොක්සිසිලීන් කරලක් ඇමොක්සිල් කියන වෙළඳ නාමයෙන් විකුණන්නේ රුපියල් 16කට. රුපියල් 30 ඇමොක්සිසිලීන් වර්ගත් තිබෙනවා. වෙළඳපළේ මෙට්ෆෝමින් පෙත්ත ශත 90 සිට රුපියල් 23 දක්වා විවිධ මිල ගණන් වලට තිබෙනවා. ඉතින් සමාගම් රෝගීන්ව සූරාකන විදිය හිතා ගන්න පුළුවන්. මේ ප‍්‍රශ්නය මග හරවන්න 1970 දශකයේදී මහාචාර්ය සේනක බිබිලේ ඖෂධ ප‍්‍රතිපත්තියක් හඳුන්වා දුන්නා. එහි ඖෂධ සඳහා මිල පාලනය, එකම ඖෂධයේ වෙළඳ නාම සංඛ්‍යාව සීමා කිරීම, අත්‍යවශ්‍ය ඖෂධ නාම ලේඛනයක් සැකසීම, ඖෂධ නිර්දේශ කිරීම වෙළඳ නාමයෙන් නොව ඖෂධීය නාමයෙන් සිදු කිරීම වැනි ප‍්‍රගතිශීලී පියවර අඩංගු වෙනවා. එහෙත් ජාතික ඖෂධ නියාමන අධිකාරී පනතේ ඒ ප‍්‍රතිපාදන අඩංගු වෙලා නෑ. අධිකාරියට ලබා දී තිබෙන්නේ ඖෂධ වල ගුණාත්මක භාවය නියාමනය කර ඒවා ලියාපදිංචි කිරීමේ බලය විතරයි. එහෙත් මේ සීමා ඇතුළෙත් ඖෂධ නියාමන අධිකාරියේ විශේෂඥයන් අත්‍යවශ්‍ය නොවන ඖෂධ ලියාපදිංචිය වළක්වන්න, මිල අධික වෙළඳ නාම ලියාපදිංචිය වළක්වන්න උත්සාහ කළා. දේශපාලන තන්ත‍්‍රය සමග ගැටුම් ඇති වෙන්නේ ඒ ක‍්‍රියාවලියේදී.

උදාහරණ කිහිපයක් ගෙන බලමු. මතබේද ඇතිවූ ප‍්‍රධාන සිදුවීමක් වුනේ පිළිකා සඳහා භාවිතා කරන ඖෂධයක් වන නිමොටුසුමැබ් (Nimotuzumab) වලට අදාළව. මේ ඖෂධයේ එක එන්නත් කුප්පියක් රුපියල් 65,000ක් වෙනවා. එක එන්නත් වාරයකට ඒ කුප්පි 4ක් අවශ්‍යයි. ඒ වගේම එවැනි එන්නත් වාර 6ක් ලබා දීම අවශ්‍යයි. ඒ කියන්නේ එක රෝගියෙකුට මේ එන්නත් කුප්පි 24ක් අවශ්‍ය වෙනවා. ඒ සඳහා රුපියල් ලක්ෂ 15ක් පමණ වැය වෙනවා. එතරම් මුදලක් අය කළත් මේ ඖෂධය තවමත් තිබෙන්නේ සායනික පරීක්ෂා (Clinical Trial) මට්ටමේ. මෙය සතුන්ට මිස මිනිසුන් සඳහා අත්හදා බලලා නෑ. සාමාන්‍යයෙන් සායනික පරීක්ෂාවේ විවිධ මට්ටම් තිබෙනවා. මුලින් සතුන්ට අත්හදා බලනවා. ඉන් පසු නිරෝගී පුද්ගලයෙකුට සහ අනතුරුව නිරෝගී පුද්ගලයන් ගණනාවකට අත්හදා බලනවා. රෝගීන් සඳහා අත්හදා බලන්නේ ඉන් පසුව. රෝගීන් සඳහා අත්හදා බලද්දී අදාළ ඖෂධ සමාගම ඒ රෝගීන්ට සියලූ පහසුකම් සැපයීමට අමතරව ගෙවීමක්ද කළ යුතුයි. මේ ඖෂධය ලෝකයේ කිසිම තැනක අනුමත කරලා නෑ. අනෙක වෙනත් රටවල රෝගීන්ට එය ලබා දීමේදී අත්හදා බැලීම වෙනුවෙන් සමාගම රෝගීන්ට ගෙවනවා. ලංකාවේදී රෝගීන් ඖෂධ ජාවාරම්කරුවන්ගේ පරීක්ෂණාගාර මීයන් වෙනවාට අමතරව රුපියල් ලක්ෂ 15 ගණනේ අතින් ගෙවන්නත්  ඕන. අධිකාරියේ විශේෂඥයන් මේ නිමොටුසුමැබ් ලියාපදිංචි කිරීම ප‍්‍රතික්ෂේප කළා.

තවත් උදාහරණයක් තමයි පිළිකා සඳහාම ගන්නා සිමාවැක්ස් (Simavax). මේ ඖෂධයේත් එක එන්නත් කුප්පියක් රුපියල් 65,000ක්. එයින් කුප්පි 15ක් එක රෝගියෙකුට අවශ්‍ය වෙනවා. රුපියල් ලක්ෂ 10කට ආසන්න මුදලක් වැය කළාටත් පසුව රෝගියාගේ ජීවිත කාලය දිගු වෙන්නේ මාසයකින් පමණයි. ඒ වගේම එහි සාර්ථකත්වයේ ප‍්‍රතිශතයත් ඉතාම අඩුයි. අධිකාරිය සිමාවැක්ස් ලියාපදිංචි කිරීමත් ප‍්‍රතික්ෂේප කළා. තව ප‍්‍රශ්න ඇති වුනා. අපි දන්නා විදියට ලංකාවෙන් මැලේරියාව තුරන් කරලා තියෙන්නේ. ඒත් එක සැපයුම්කරුවෙක් මැලේරියාව සඳහා භාවිතා කෙරෙන ප‍්‍රීමාකුවීන් (Primaquine) ඖෂධයේ 60,000ක් ගෙන්වන්න අවසර ලිපියක් ඉල්ලා තිබුණා. ඒ ඖෂධය ලංකාවට අවශ්‍ය නොවන නිසාත්, හදිසියේ මැලේරියා රෝගියෙකු වාර්තා වුවහොත් ලබා දෙන්න සීමිත ඖෂධ තොගයක් රජයේ රෝහල් සතුව ඇති නිසාත් අධිකාරියේ ප‍්‍රධානීන් ඒ ලිපිය ලබා දීම ප‍්‍රතික්ෂේප කළා. ඒ වගේම තවත් සිද්ධියක් තිබෙනවා. ලොරසිපෑම් (Lorazepam) නම් ඖෂධය ගෙන්වන්න ලියාපදිංචි නොවූ සැපයුම්කරුවකු සෞඛ්‍ය අමාත්‍යංශයට ටෙන්ඩර් ඉදිරිපත් කර තිබුණා. ටෙන්ඩරයේ වටිනාකම රුපියල් මිලියන 33ක්. (ලක්ෂ 330ක්) එම සැපයුම්කරුවා ඒ ටෙන්ඩරය ලබා ගැනීම සඳහා අධිකාරියෙන් ඖෂධ ආනයනය කිරීමේ අවසර ලිපියක් ඉල්ලා තිබුණා. අධිකාරිය එම ලිපිය නිකුත් නොකළ නිසා වෙනත් ලියාපදිංචි සැපයුම්කරුවකුට ටෙන්ඩරය ලබා දෙන්න සෞඛ්‍ය අමාත්‍යංශයට සිදු වුණා. ඒ සඳහා ගිය වියදම රුපියල් මිලියන 0.25ක් හෙවත් රුපියල් 2,50,000ක් පමණයි. සිදු වීමට නියමිතව තිබු වංචාව හිතා ගන්නවත් බැරි තරම් විශ්මයජනකයි. ඒ ඖෂධයට නියමිත මිල මෙන් 132 ගුණයක් වැඩිපුර මුදලක් මහජන මුදලින් ගෙවන්න ඉඩ තිබුනා.

ඇත්ත ප‍්‍රශ්නය එන්නේ මහාචාර්ය ලාල් ජයකොඩි, ආචාර්ය ක‍්‍රිශාන්ත වීරසූරිය ඇතුළු විශේෂඥයන් මේ මගඩිය නතර කළාට පසු ඔවුන්ට ප‍්‍රශංසා කිරීම වෙනුවට ඔවුන්ට ඉල්ලා අස්වන ලෙස තර්ජනය කිරීම. සෞඛ්‍ය ඇමැති රාජිත සේනාරත්න මේ ප‍්‍රශ්නයේදී ගන්නේ රෝගීන්ගේ පැත්තද, නැතිනම් ඖෂධ ජාවාරම්කරුවන්ගේ පැත්තද? විශේෂයෙන් වංචා දුෂණ ගැන ලොකු සද්දයක් දමා බලයට පැමිණ, නිතරම යහපාලනය ගැන කියවන මේ ආණ්ඩුව මේ වංචා සැකය පිළිබදව කිසිවක් නොකියන්නේ ඇයි? සොරකම් නැවැත්වීමේ විශේෂඥයන් ලෙස තමන්ව හඳුන්වා ගන්නා ජනතා විමුක්ති පෙරමුණ වැනි පක්ෂ මේ ගැන කට අරින්නේ නැත්තේ, කටෙන් කෙළ බින්දුවක් නොහෙළන්නේ ඇයි?

මේ තුන් තේරවිල්ල විසඳීම අපි ජනරළ පාඨකයන්ට භාර කරනවා. ඒ අතරම ලෝකයේ වැඩිම ලාභ උපයන ජාවාරම් වන්නේ මිනිසුන් මරණ යුද අවි ජාවාරම සහ මිනිසුන් ජීවත් කරවන බව කියන ඖෂධ ජාවාරම බවත් අපි මතක් කරනවා. ලාභය පමණක් එකම අරමුණ කරගත් සමාගම් ඖෂධ භාවිතා කරන්නෙත් මිනිසුන් ජීවත් කරවන්න නෙවෙයි. මේ ක‍්‍රමය යටතේ ඖෂධ සමාගම් රෝගියා මරනවා, රෝගියාගේ පවුලේ අය සහ සමීපතමයන් නොමරා මරනවා.

සුධීර ප‍්‍රභාෂ්වර

Advertisements