අප ගැන

FRRE-MAN‘ඇත්ත කියන්නත් බිම ඉඳගන්නත් බයවෙන්න  ඕන නෑ’
අපේ සමාජයේ පවතින මේ කියමන අද වනවිට මොන තරම් හාස්‍යයක් බවට පත්වෙලාද යන්න මේ සටහන කියවන ඔබ හොඳින්ම දන්නවා ඇත. යම් රටක නිදහස හා ප‍්‍රජාතන්ත‍්‍රවාදී අයිතිවාසිකම් කොපමණ ආරක්ෂා වී තිබෙනවාද යන්න මැනගැනීමට හැකි සරලම සාධකය වන්නේ එම රටේ ජනමාධ්‍යයන්ට හිමි නිදහසයි. ජනමාධ්‍ය නිදහස පිළිබඳ පිළිගත් ජාත්‍යන්තර දර්ශක අනුව ලංකාව සිටින්නේ ඉතා පහළ මට්ටමක බව රහසක් නොවේ. ‘දේශසීමා නොමැති මාධ්‍යවේදියෝ’ නමැති ජාත්‍යන්තර සංවිධානයේ වාර්තා අනුව, ජනමාධ්‍ය නිදහස අනුව ලංකාවට ලැබී ඇත්තේ 163 වැනි ස්ථානයයි. 2010 වසරේ 158, 2009 වසරේ  162, 2008 වසරේ 165, 2007 වසරේ 156, 2006 වසරේ 141 2005 වසරේ 115 2004 වසරේ 109 2003 වසරේ 89 සහ 2002 වසරේ 051 යන ස්ථානවල එම දර්ශකය අනුව ලංකාව පැවතිණි. මේ අනුව ලංකාවේ ජනමාධ්‍ය නිදහස වත්මන් පාලනය යටතේ දිගින් දිගටම පිරිහීමට ලක්ව ඇති ආකාරය අමුතුවෙන් කිවයුතු නොවේ. එක්සත් ජනපදයේ ‘ෆ‍්‍රීඩම් හවුස්’ ආයතනයේ වාර්තා අනුව ලංකාව සිටින්නේ ජනමාධ්‍ය නිදහසක් නැති රටවල් අතරය. 2012 වසරට අදාළව ඔවුන්ගේ දර්ශකය අනුව එය 161වැනි ස්ථානයයි.
කුමන දර්ශකය නැතත්, පසුගිය වසර ගණනාවක් පුරා ජනමාධ්‍ය නිදහසේ හා ප‍්‍රජාත්නත‍්‍රවාදී හිමිකම් කි‍්‍රියාත්මකවීමේ අත්දැකීම් සමාජයක් ලෙස අපට අමතක කළ නොහැකිය. ජනමාධ්‍යවේදීන්ට පහරදීම, පැහැරගෙන යාම, අත්අඩංගුවට ගැනීම, අතුරුදන්වීම සහ ඝාතනය කිරීම යනාදීවශයෙන් අනාරක්ෂිතභාවය විවිධ මුහුණුවරින් දක්නට තිබේ. ජනමාධ්‍ය ආයතන ද ප‍්‍රහාරයට ලක්වීම, ගිනිතබනු ලැබීම සහ බෝම්බ ප‍්‍රහාරයට ලක්වීම වැනි සෘජු ලෙස මර්දනයට හසුවීම දක්නට ලැබේ. මේ වනවිට ජීවිතාරක්ෂාව පතා විදේශගතව සිටින ජනමාධ්‍යවේදීන් සංඛ්‍යාව සැලකූ විට රටේ ඇත්තේ ජනමාධ්‍යකරුවන් දඩයම් කරන පාලනයක් බව ඉතාමත් පැහැදිලිය. සිය මතය ප‍්‍රකාශකිරීමේ අයිතිය පිවිච්චිකිරීම යනු ප‍්‍රහාරයකට ගොදුරුවීමේ අනතුර කැඳවාගැනීමක් වන නිසා විදේශයන්හි ආරක්ෂාව පතා ගිය මාධ්‍යවේදීන්ට වසර ගණනාවකින් පසුව පවා මෙරටට ඒමට සුදුසු පරිසරයක් නිමැවී නැත. අතපය කඩාබිඳ දැමීමෙන් පසුව විදේශගතවූ පෝද්දල ජයන්ත යනු සිය ආරක්ෂාව ඉල්ලා සිටියද එය නොලැබුණු රාජ්‍ය ජනමාධ්‍ය ආයතන සේවකයෙකි. ආණ්ඩුවේ පාලනය යටතේ පවතින ජනමාධ්‍යයන්හි සේවය කිරීමේදී ආරක්ෂාවක් නැතිනම් සෙසු මාධ්‍ය ආයතනවල සේවකයන් ගැන කුමන කතාද?
ජනමාධ්‍යවේදීන්ටත් ජනමාධ්‍ය ආයතනවලටත් මෙසේ විවිධ තාඩන පීඩනවලට ලක්වන්නට හා අනාරක්ෂිත පසුබිමක් මතුව තිබියදී ඒ පිළිබඳව ආණ්ඩුවත් විශේෂයෙන් ජනමාධ්‍ය ඇමැතිවරයාත්, පොලිසිය, අධිකරණය වැනි නීතිය බලාත්මකකරන ආයතන පවා ප‍්‍රමානවත් අවධානය යොමුකොට නැත. ජනමාධ්‍යවේදීන්ට පහරදීමේ සිට ඝාතනයකිරීම දක්වා අපරාධයන් සම්බන්ධ වගකිවයුතු පුද්ගලයන් නීතිය හමුවට ගෙන එන්නට ආණ්ඩුව හෝ අදාල අංශ මේ දක්වා සමත් වී නැත. එවැනි සිදුවීම් පිළිබඳ පරීක්ෂන පවත්වන බව විවිධ අවස්ථාවලදී බලධාරින් විසින් ප‍්‍රකාශ කළත් අදාළ වරදකරුවකු අත්අඩංගුවට ගත් බවක් හෝඩුවාවක් සොයාගත් බවක් හෝ නඩු පැවරූ බවක් මෙතෙක් වාර්තා වී නැත.
වත්මන් ආණ්ඩුවේ පාලන කාලය තුළ ජනමාධ්‍යවේදීන් ඝාතනයට ලක් වූ අවස්ථා 44ක් සහ ප‍්‍රහාරයට ලක් වූ අවස්ථා 20ක් පැහැරගෙන ගිය අවස්ථා 05 ක් පිළිබඳ නිසි විමර්ශන සිදුකර නැත. ජනමාධ්‍ය නිදහසට එරෙහිව කිසිවකු විසින මෙහෙයවන ලද අපරාධකරුවන් තවමත් නිදැල්ලේ සිටින බව එහි අදහසයි. මේ ජනමාධ්‍යවේදීන් හිරිහැරයට ලක්වූයේ ප‍්‍රධාන වශයෙන් ආණ්ඩුව විවේචනය කරමින් ගෙන ගිය මාධ්‍ය භාවිතයක් තුළ නිසාම එකී අපරාධයන් පිළිබඳ වගකීමෙන් නිදහස්වන්නට ආණ්ඩුවට නොහැකිය. මීට අමතරව ආණ්ඩුව විවේචනය කරන ජනමාධ්‍ය ආයතනවලට පහරදීමේ අවස්ථා 7ක් නිශ්චිතව වාර්තා විය. ඊට අමතරව ජනමාධ්‍ය ආයතන පසුගිය කාලයේ විවිධ හිරිහැරයන්ට ලක් වී තිබේ. නීතිය හා යුක්තිය ඉටුකරන්නට නොහැකිවන තාක් ආණ්ඩුවට එම සිදුවීම් සම්බන්ධ වගකීමෙන් පළා යා නොහැකි බව අවධාරණය කරමු. ඒ කිසිදු අපරාධකාරී ක‍්‍රියාවක් පිලිබඳ වගකිවයුත්තන් නිසි විමර්ශන පවත්වා නීතිය ඉදිරියට ගෙනැවිත් නැත. එසේ වුවත් මාධ්‍යවේදීන් අත්අඩංගුවට ගැනීම හා ජනමාධ්‍ය ආයතනවලට මුද්‍රා තැබීම සඳහා ආණ්ඩුව නීතියේ රැුකවරණය ලබාගනී. රාජපක්ෂ ජනාධිපතිවරයාගේ පාලනය තුළ ජනමාධ්‍යවේදීන් හා මාධ්‍ය සෙවකයන් අත්අඩංගුවට ගැනීමේ අවස්ථා 38ක් සහ මාධ්‍ය ආයතන මුද්‍රාතැබීම් 2ක් වාර්තා විය. එසේම පුවත් වෙබ් අඩවි ගණනාවක් තහනම් කරන ලදී. ගුවන් විදුලි නාලිකා තහනම් කළ අවස්ථා ද තිබේ.
රටේ මූලික නීතිය ලෙස ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ තහවුරුකර ඇති අදහස් ප‍්‍රකාශකිරීමේ අයිතිය නිසි පරිදි පවත්වාගෙන යාමටත්, ජනතාව සතු තොරතුරු දැනගැනීමේ අයිතිය ආරක්ෂාකරදීමටත් ආණ්ඩුව කටයුතු කළ යුතුව තිබේ. මැතිවරණවලදී ජනමාධ්‍ය නිදහස රකින බවට පවසන ජනාධිපතිවරයාත් ජනමාධ්‍ය ඇමැතිවරයා ප‍්‍රමුඛ ආණ්ඩුවේ වෙනත් නායකයන් ප‍්‍රායෝගික තලයේ ඒ වෙනුවෙන් ප‍්‍රකාශවලට ඔබ්බෙන් ක‍්‍රියාකාරිත්වයක් දක්වා නැති බව කනගාටුවෙන් වුවත් සඳහන් කළ යුතුව ඇත. ජනමාධ්‍ය ආරක්ෂා කිරීමේ පිලිවෙත ක‍්‍රියාකාරිත්වයක් බවට පත්කිරීමට නම් අවම වශයෙන් මේ තාක් හිරිහැරයට පත් ජනමාධ්‍යවේදීන් සම්බන්ධව හා ප‍්‍රහාරයට ලක්වූ ජනමාධ්‍ය ආයතන පිළිබඳව නීතිය හා යුක්තිය ඉටුකළ යුතුව තිබේ. එහි ලා ආණ්ඩුවේ වගකීම එසේම තිබියදී නීතිය බලාත්මක කිරීමේ කාර්යය වෙනුවෙන් පොලිසිය විසින් වගකිවයුතු කාර්යභාරයක් ඉටුකළ යුතුව ඇත. පොලිසිය නීතිය අතට ගෙන කටයුතු කරන අවස්ථාවලදී ජනමාධ්‍ය නිදහස අහිමිවන අවස්ථා බොහෝ තිබේ. පොලිස් නිලධාරින් ඉහළ සිට පහළට කටයුතු කරමින් සිටින්නේ ජනමාධ්‍යවේදීන් සිය ප‍්‍රතිවාදීන් පිරිසක් වැනි ආකල්පයකිනි. අනෙක් අතට ජනමාධ්‍යවේදීන්ට සිදුවන හිරිහැර සම්බන්ධයෙන් අදාළ වරදකරුවන් නීතිය ඉදිරියට ගෙන ඒමේදී ද පොලිසිය හා ආණ්ඩුව දැඩි උදාසීන පිළිවෙතක් අනුගමනය කරන බව පෙනේ.
මෙම පසුබිම තුළ මේ රටේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය සතු විශේෂ අංගයක් ලෙස ජනමාධ්‍ය නිදහස දැඩි තර්ජනයකට මුහුණ දී තිබේ. ජනමාධ්‍ය නිදහස පිළිබඳව ලෝකයේ විවිධ ක‍්‍රියාකාරිත්වයන් සිදුවෙද්දී අප රටේ ජනමාධ්‍යවේදීන්ට සිය වෘත්තිය ආරක්ෂා කරගන්නටත් ජීවිත ආරක්ෂා කරගන්නටත් ආයාචනා කරන්නට සිදුව තිබේ. ජනතාව සිය ප‍්‍රජාතන්ත‍්‍රවාදී නිදහසේ මූලික කොන්දේසියක් ලෙස ‘ජනමාධ්‍ය නිදහස’ රැකගන්නට ක‍්‍රියාකාරීව පෙරට ආ යුතු කාලය එළඹ තිබේ. ජනමාධ්‍ය පැවැත්මට අදාළ අයිතිවාසිකම් හා නිදහස යනු හුදු ජනමාධ්‍යවේදීන් හා ජනමාධ්‍ය ආයතන පමණක් අදාළ වන්නක් නොවේ. මුලූමහත් සමාජයේම ප‍්‍රජාතන්ත‍්‍රවාදී නිදහස උදෙසා ඒ මුලූමහත් සමාජය විසින්ම ජනමාධ්‍යවේදියාගේ වෘත්තිය නිදහසත් තොරතුරු දැනගැනීමේ අයිතියත් රැුකගතයුතු බව වටහාගන්නට තවත් ප‍්‍රමාද වියයුතු නැත.

–    චන්දන සිරිමල්වත්ත, ප‍්‍රධාන කර්තෘ – ජනරළ ඉරිදා සංග‍්‍රහය