දේශපාලන

Father and sons play-fighting with wooden swords

ලී කඩු ෆයිට්

ඒ කාලයේ චිත‍්‍රපට බලන්නට යන විට බොහෝ දෙනා අසන්නේ ‘සින්දු කීයද, ෆයිට් කීයද, විහිළු කීයද’කියාය. චිත‍්‍රපටයක් නම් සින්දු 10ක් 12ක්, ෆයිට් හතරක් පහක්, විහිළු දුසිමක් තිබිය යුතු යැයි ගැලරියේ පේ‍්‍රක්ෂකයා සිතුවේය. දේශපාලන චිත‍්‍රපටය ද ගැලරිය සතුටු කරමින් දිග හැරේ. දේශපේ‍්‍රමය ගැන බයිලා, සින්දු, ලෙමන් පෆ් කමින් කරන මාරාන්තික උපවාසවල සිට තමන්ම තමන්ව ගස් බැඳ ගන්නා සමෘද්ධි නියාමකයන් දක්වා ඉළ ඇදෙන විහිළු ඕනෑවටත් වඩා වැඩියෙන් ඇත. පසුගිය සති කිහිපය ගැලරියේ ජනයා සතුටු වූයේ ෆයිට් බලමිනි. මේ සුළුපටු ෆයිට් නොව ‘කඩු ෆයිට්’ය. මහින්ද සහ වීරවංශ අතර, මහින්ද සහ චම්පික අතර, මහින්ද සහ හකීම් අතර කඩු සටන් මෙන්ම ආණ්ඩුව හා විපක්ෂයේ පොදු අපේක්ෂකයා (එනවා යැයි කියන* අතර කඩු සටන් ද දැකිය හැකි විය. ලංවී බලන විට පෙනෙන්නේ මේ කඩු, ලී කඩු බවත් සටන්, ව්‍යාජ සටන් බවත්ය. මේ සතිය අවසන් වෙමින් යන්නේ ලී කඩු ගැටෙන හඬ අඩු වෙමින්, ගැලරියේ විසල් හඬ තුනී වෙමින් යන තත්වයක් තුළය.

  •  සටන අංක 1 : ආණ්ඩුව – ආණ්ඩුව

පසුගිය සතිය තුළ ද ආණ්ඩුව තුළම වන කඩු සටන් අඛණ්ඩව කි‍්‍රයාත්මක වෙමින් පවතී. ජාතික හෙළ උරුමය ආණ්ඩුව පිළිබඳ සිය අතෘප්තිය දිගින් දිගටම ප‍්‍රකාශයට පත් කරයි. මුලින් කැසිනෝ ගැන පැවසූ චම්පික රණවක දැන් ආණ්ඩුවට රිදවීම සඳහා වෙනත් මාතෘකාවලට ද ප‍්‍රවේශ වී සිටී.

පසුගිය සතියේ ඔහු වැඩිපුර කතා කර තිබුණේ පරිසරය ගැනය. පරිසරයට මහා පරිමාණ විනාශයක් සිදු කරමින් හෝ නවලිබරල් ධනවාදය ශක්තිමත් කිරීමට අධිෂ්ඨාන කරගෙන සිටින ආණ්ඩුවක පරිසර ඇමැතිවරයා ද වී සිටි ඔහු මෙතෙක් කල් සිටියේ කොහේ දැයි ප‍්‍රශ්නයක් මතු වේ. ඔහු කියන පරිසර ප‍්‍රශ්නය ද ඔහුගේම ජාතිකවාදී දැක්මෙන් විසඳිය නොහැකි ඒවාය. නිදසුනක් ලෙස චම්පික මුහුදු මට්ටම ඉහළ යාමෙන් වෙරළබඩ ප‍්‍රදේශ විනාශ වීම ගැන පවසමින් මන්නාරම, මඩකලපුව හා කොළඹ වෙරළ තීරයන් ආරක්ෂා කිරීමට වැඩපිළිවෙළක් නැතැයි මහින්ද රාජපක්ෂ පාලනයට චෝදනා කරයි. වෙරළ සංරක්ෂණ වැඩපිළිවෙළක් නැති වීම ගැන වගකීම ලංකාවේ පාලකයන්ට තිබෙන අතරම මුහුදු මට්ටම ඉහළ යාමට හේතුව වන ගෝලීය උණුසුමේ වැඩි වීම ජාත්‍යන්තර ධනවාදයේම ප‍්‍රශ්නයකි. එය විසඳිය හැක්කේ චම්පිකගේ ජාතිකවාදී ව්‍යාපෘතියෙන් නොව වාමාංශිකයන්ගේ ජාත්‍යන්තරවාදී ව්‍යාපෘතියකිනි.

මේ අතර අතුරලියේ රතන හිමි ද කැසිනෝ විවේචනය ඉක්මවා විධායක ජනාධිපති ක‍්‍රමය විවේචනය කරන සටන් බිමකට පැමිණ තිබේ. රතන හිමි විධායක ජනාධිපති ක‍්‍රමය ආරක්ෂා කිරීම වෙනුවෙන් පෙනී සිටින අතරම එහි ‘සංස්කරණයක්’ඉල්ලා සිටී. ඒ ‘සංස්කරණ’ද අවම වශයෙන් ලිබරල් ප‍්‍රතිසංස්කරණවත් නොවේ. ජනාධිපතිවරයා ඇමැති ධුර භාර ගන්නා අතර ඔහුගේ අමාත්‍යාංශයක සිදුවන ප‍්‍රශ්නයකට අදාළව ඔහුව අධිකරණයට ගෙන යා නොහැකි නීතිමය බාධාවක් තිබීම සුදුසු නැති නිසා ජනාධිපතිවරයා ඇමැති ධුර දැරීමට සීමා පැනවීමක් රතන හිමි යෝජනා කරයි. මේවා නිකම්ම ලී කඩු සටන් යැයි කියන්නේ විධායක ජනාධිපති ක‍්‍රමය අහෝසි කිරීම තබා එහි 18 වැනි සංශෝධනය වැනි ප‍්‍රජාතන්ත‍්‍ර විරෝධී නීති ආපසු හැරවීමකට පවා රතන හිමි ඉදිරිපත් නොවන හෙයිනි. ඩිව් ගුණසේකර වැනි ආණ්ඩුවේ ලැඟ ගෙන සිටින මළගිය වමේ ප‍්‍රාණකාරයන් ද ජනාධිපතිට විධායක ජනාධිපති ක‍්‍රමය අහෝසි කිරීමට අදාළ ලියැවිල්ලක් භාර දී තිබෙන බව වාර්තා වී තිබේ.

ලී කඩු සටන්වල වෙනදා පිටුපසින් සිටි වීරවංශ දැන් සටන් පෙරමුණටම පැමිණ ඇත. දැන් ඔහු කරන්නේ අතට අහුවන හැම පොලූ කෑල්ලෙන්ම හතර අතට ගැසීමයි. පසුගිය සතියේ දී ඔහු බීජ පනතේ සිට සම සෞඛ්‍යය ශිෂ්‍ය ප‍්‍රශ්නය දක්වාත් කොෆී අනන්ගේ දේශපාලන මැදිහත් වීමේ සිට කිරිපිටි මිල වැඩි වීම දක්වාත් සියලූ ප‍්‍රශ්නවලට කඩා පැන, ආණ්ඩුවට විවේචන එල්ල කළේය. අරලියගහ මන්දිරයේ ගේට්ටුවෙන් එළියේ දී ආණ්ඩුව නිසි මඟ නොයන බවට බෙරිහන් දී අරලියගහ මන්දිරය තුළට ගොස් බලූ කුක්කෙකු මෙන් ඇඹරෙන, යළිත් එළියේ ගේට්ටුව ළඟ සිංහනාද පවත්වන මේ ලී කඩු සටන්කරුවන් ගැන පුවත්පතේ ඉඩ එතරම් නාස්ති කළ යුතු නැත. ප‍්‍රශ්නය තිබෙන්නේ ලී කඩු සටන්කරුවන් ගැන පමණක් නොවේ. ආණ්ඩුවේ අභ්‍යන්තර ප‍්‍රතිවිරෝධතාවන් හා ඒ ආශ‍්‍රිත වර්ධනයන් ගැන පොදු සමාජයම ඉන්නේ නරඹන්නන්ගේ භූමිකාවේය. සමාජයේ සිටින රැුඩිකල්ම කොටස් පවා බලා සිටින්නේ තමන්ගේ ඇඟ රිදවා නොගෙන ආණ්ඩුවේම අභ්‍යන්තර ප‍්‍රශ්න තුළින් එය දුර්වල වන තුරුය.

සටන අංක 2 : ආණ්ඩුව – විපක්ෂය

ආණ්ඩුව හා පාර්ලිමේන්තු විපක්ෂය අතර යන ලී කඩු සටන ගැන ද සමාජයේ තිබෙන්නේ නරඹන්නන්ගේ මනෝභාවයකි. ආණ්ඩුව – ආණ්ඩුව අතරත් ආණ්ඩුව – විපක්ෂය අතරත් සිදුවන ප‍්‍රතිවිරෝධතා වර්ධනයන් බොහෝ විට කෙළවර විය හැක්කේ එක හොරෙකු වෙනුවට තවත් හොරෙකු, එක ඒකාධිපතියකු වෙනුවට වෙනත් ඒකාධිපතියකු කැඳවීමෙනි. එය වෙනස් කළ හැක්කේ පීඩිත ජනතාව නරඹන්නාගේ භූමිකාවෙන් ඉවතට පැමිණ සක‍්‍රිය වීමෙනි. මුලින් විපක්ෂයේ පක්ෂ තමන් මීළඟ ජනාධිපතිවරණයේ දී විධායක ජනාධිපති ක‍්‍රමයට එරෙහි පොදු අපේක්ෂකයකු ඉදිරිපත් කරන බව පැවැසීය. මේ ගැන සමාජයේ විශාල ආන්දෝලනයක් ඇති වූ අතර හැමදෙනාම කතා කළේ පොදු අපේක්ෂකයා කවුරුන් විය හැකිද යන්න ගැනය. ඒ සඳහා මාඳුළුවාවේ සෝභිත හිමියන්ගේ සිට චන්ද්‍රිකා බණ්ඩාරනායක හිටපු ජනාධිපතිනිය දක්වා නම් යෝජනා විය. ඕපා¥ප වෙබ් අඩවි ඒ සඳහා ජනප‍්‍රිය ක‍්‍රිකට් ක‍්‍රීඩකයකු ඉදිරිපත් වනු ඇතැයි පුවත් මැවූ අතර දයාන් ජයතිලක පොදු අපේක්ෂකයා ලෙස ජනතා විමුක්ති පෙරමුණේ අනුර දිසානායකව යෝජනා කළේය. ජනතාව කළේ මේ තරුවලින් රජ වන්නේ මොන තරුවද බිමට වැටෙන්නේ මොන තරුවද කියා උඩ බලාගෙන සිටීමයි. එසේ උඩ බලාගෙන සිටින අතර පය යටින් බොහෝ දේ ලිස්සා ගියේය. ඒ ගැන වෙනම කතා කළ යුතුව තිබේ.

කෙසේ වෙතත්, පොදු අපේක්ෂකයා ගැන ගොඩනැඟූ රැුල්ල ටයරයක හුළං බසිනවාක් මෙන් මේ සතියේ දී බැස ගියේය. ජනතාව බලා සිටියේ විපක්ෂයේ පක්ෂ මොකක් හෝ සෙල්ලමක් දාන තුරුය. අවසානයේ දී විපක්ෂයේ දේශපාලන පක්ෂ සියල්ලම පාහේ තමන් ප‍්‍රශ්න දෙස බලන්නේ සමාජ උවමනාවේ පැත්තෙන් නොව පාක්ෂික උවමනාවේ පැත්තෙන් බව ඔප්පු කළේය. එක්සත් ජාතික පක්ෂය විධායක ජනාධිපති ක‍්‍රමය අහෝසි කිරීම සඳහා තම පක්ෂයෙන් අපේක්ෂකයකු ඉදිරිපත් කරන බව පැවැසීමත් සමඟ පොදු අපේක්ෂක බැලූමේ හුළං බැසීම ආරම්භ විය. සරත් ෆොන්සේකා විධායක ජනාධිපති ක‍්‍රමය අහෝසි කළ යුතු නැති බවත් කළ යුත්තේ එය ප‍්‍රතිසංස්කරණ කිහිපයකට ලක් කිරීම පමණක් බවත් පැවසීම නිසා පොදු අපේක්ෂක කතාවෙන් ඔහු ද ඉවත් වූ බව පැහැදිලි විය. මේ අතර ජනතා විමුක්ති පෙරමුණ කියන්නේ තමන් පොදු අපේක්ෂක කැඳ හැලියට නැති අතර සන්ධානයෙන් මෙන්ම එජාපයෙන් ද පිරිස් ගලවාගෙන වෙනම අපේක්ෂකයකු ඉදිරිපත් කරන බවය. මේ අතර දෙමළ ජාතික සන්ධානය, තමන් උතුරෙන් වෙනම අපේක්ෂකයකු ඉදිරිපත් කරන අතර පොදු අපේක්ෂකයකු එන්නේ නම් ඔහුට හෝ ඇයට දෙවැනි මනාපය ලබා දෙන ලෙස ඡුන්ද දායකයන්ගෙන් ඉල්ලා සිටින බව පවසා තිබේ.

  •  කළු වලාවේ රිදී රේඛා

ජනතාවගෙන් සාතිශය බහුතරය රාජපක්ෂ පාලන තන්ත‍්‍රය තුළම ප‍්‍රතිවිරෝධතා උග‍්‍ර වී, පිරිසක් ආණ්ඩුවෙන් එළියට පැමිණ තම ප‍්‍රශ්නවලට විසඳුමක් දෙන මාර්ගයක් විවෘත වනු ඇතැයි සිතුවේය. එළියට පැමිණෙන්නන් ද මහින්ද රාජපක්ෂ තරමටම ප‍්‍රතිගාමී බවත් එවැනි බල තුලනයකින් පීඩිත ජනතාවට වාසියක් අත්වන්නේ නැති බවත් අපි මුල පටන්ම පැවසුවෙමු. කෙසේ වෙතත් එවැන්නක් අපේක්ෂාවෙන් සිටි අය ද ආණ්ඩුව තුළ සිටින ලී කඩු සටන්කරුවන් ‘අද නොවේ හෙට’කීම නිසා මන්දෝත්සාහී වී ඇත. සමාජයේ එම ප‍්‍රජාවම විපක්ෂයේ පක්ෂ එක් වී පොදු අපේක්ෂකයකු නම් කරනු ඇතැයි ද එවිට තමන්ගේ ප‍්‍රශ්න විසඳෙනු ඇතැයිද සිහින දකිමින් සිටියහ. ඊනියා පොදු අපේක්ෂකයකු හරහා ජනතා අපේක්ෂා ඵල දරන්නේ නැති බවත් මේවා විපක්ෂයේ පක්ෂවල බල ක‍්‍රීඩාවන් පමණක් බවත් අපි මුල පටන් පැවසුවෙමු. කෙසේ වෙතත් එවැන්නක් එනතුරු බලා සිටි අය ද දැන් අපේක්ෂා භංගත්වයට පත්ව ඇත.

මේ කළු වලාකුළේ රිදී රේඛාව බවට පත්ව ඇත්තේ ජනතාවගේ ස්වේච්ඡුා නැඟිටීම්ය. සෞඛ්‍ය සේවයේ කණිෂ්ඨ කාර්ය මණ්ඩලවල කම්කරුවන් කළ අරගලය ජයග‍්‍රහණය කළේය. එහි ඇති විශාලම ජයග‍්‍රහණය වන්නේ ඉල්ලීම් පහෙන් තුනක් ලැබීම පමණක් නොවේ. ශ්‍රේණි භේද හරහා අසමගි වී සිටින කම්කරු ව්‍යාපාරයක් තුළ ශ්‍රේණි 14ක වෘත්තීය සමිති එකට එක් වී අරගලයක් කිරීම ම ජයග‍්‍රහණයකි. ගොවියන් විසින් දක්වන ලද විරෝධතා නිසා 2014 යෝජිත බීජ හා රෝපණ ද්‍රව්‍ය පනත හකුළාගෙන තිබේ. ජනාධිපතිවරයා පවසන්නේ එය ක‍්‍රියාත්මක නොකරන බවයි. දැවැන්ත මර්දනයක් ඉදිරියේ ධෛර්්‍ය සම්පන්නව සටන් කළ ශිෂ්‍යයෝ ජයග‍්‍රහණය කර තිබේ. සම සෞඛ්‍ය විiා පාඨමාලාවේ කාලය දීර්ඝ කිරීමට අවසානයේ දී ආණ්ඩුව තීරණය කර තිබේ. ශිෂ්‍යයන්ට මැරයන් ලවා පහර දුන්නද රුහුණ සරසවි භූමියේ දැයට කිරුළ ප‍්‍රදර්ශනය පැවැත්වීමේ සැලැස්ම හකුළාගෙන තිබේ. රජරට හා සබරගමුව සිසුන්ගේ පන්ති තහනම් ප‍්‍රශ්නවලට සාපේක්ෂ විසඳුම් ලැබී තිබේ. ජනතාව සංවිධානාත්මකව සටන් කළ හැම විටම, ලී කඩු නොව සැබෑ කඩු රැුගෙන පාලකයන්ට අභිමුඛ වූ හැම විටම ජයග‍්‍රහණ හිමි වී තිබේ. එක්කෝ ඉල්ලීම් ජය ගෙන ඇත. නැතිනම් සටන්කාමී ව්‍යාපාරවල ශක්තිය තහවුරු වී ඇත.

ආණ්ඩුව ඇතුළතින්ම දුර්වල වී කඩා වැටෙන තුරු බලා සිටීම වෙනුවට, පොදු අපේක්ෂකයකු හෝ කවුරු හෝ තරුවක් පැමිණ තමන් බේරාගන්නා තුරු බලා සිටීම වෙනුවට, සමාජ බලවේගවල ක‍්‍රියාකාරීත්වයක් වර්ධනය කළ යුතුව තිබේ. මේ ලී කඩු සටන්වල නරඹන්නන් වීම වෙනුවට ජනතාව සටන් බිමට අවතීර්ණ විය යුතුව තිබේ. පසුගිය සතියේ අත්දැකීම් උගන්වන පාඩම එයයි.