විශේෂාංග

උඩ බලන් ඉන්න ජන-තාව දණ ගස්සලා
උඩ ඉඳන් පහළටම උන් අපිව වට්ටලා

1නවගත්තේගම නවෝද්‍යා පාසලේ මිස් කෙනෙක්ව දණ ගස්සපු – එයින් නොනැවතී සරමත් ඔසවාගෙන කුණු හරුප කියපු – එයිනුත් නොනැවතී එදාම ? මිස්ගෙ ගේ ඉස්සරහට ඇවිත් බැහැපන් එළියට……… කියපු – සන්ධාන පළාත් සභා මන්ත‍්‍රී ලෝකෙට පේන්න ඉල්ලා අස් වුණාට, ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂෙ සාමාජිකත්වය අහෝසි කෙරුවැයි කිව්වට, මිනිහට ආයෙමත් නාම යෝජනා ලැබෙනවයි කියන සාඩම්බර ආරංචිය ඊයේ පෙරේදා පත්තරවල ප‍්‍රවෘත්තියක් හැටියට පළ වෙලා තිබුණා. අපි අහනවා කෝ අර මහ ලේකම් සිරිසේන? රෙද්ද තමයි! විළි වහ ගන්න අඳින්නෙ. හැබැයි දැන් ඒකත් මදි කියලයි හිතන්නේ.

දැන් මිනිස්සු අහන්නේ, නවගත්තේගම සරත් ආනන්ද කියන හාදයා, මහින්දලාව, මෛත‍්‍රීලාව සේරම දණ ගස්සලාද කියලා. හැබැයි අපිට නම් තේරෙන විදිහට, ගෝත‍්‍රික දේශපාලනයක් ඉස්සරහ මුළු රටම දණ ගස්සලා. සරත් ආනන්ද ඇඳන් ඉන්නෙ නොදන්න යකෙකුට නෙවෙයි, මහින්දට, ගෝඨාභයට, මර්වින්ට, දුමින්දට ඒ ජාතියේ අරයට, මෙයාට සහ සේරටම.

දේශපාලනයේ කැතකම් – ජඩකම්, සදාචාරයේ බොරු සොමියකින් වහපු කාලේ ඉවරයි. දැන් හොරුත් හෙලූවෙන්. හොරුන්ව දියවන්නාවේ අඩු මිල කැන්ටිමේ කෑම ගිල දාන්න පත් කරලා යවපු ජනතාවත් හෙලූවෙන්.

රෝහිත රාජපක්ෂ රග්බි ගහද්දී රෙෆ්රි කෙනෙක්ගේ කන අත ගෑවා නේද කියලා අහන්න තරම් කොන්ද පණ තියෙන කර්තෘලා එක්ක මහින්ද රාජපක්ෂ උදේට කන්න ඉඳගන්නේ නෑ. මහින්ද බබා! මොකුත් දන්නෙ නෑ. ඔක්කෝම විනය පරීක්ෂණ මෛත‍්‍රීපාලගේ කරේ. එයාගේ පුතා පොලිස් ලොක්කෙක්ගේ පුතෙක්ගේ කන අත ගෑව, එයා මොකද කිව්වේ? කොල්ලො එහෙම තමයිලූ. ගහ ගන්නවලූ. සාමාන්‍ය දෙයක්ලූ.

එහෙව් මහින්දගේ – එහෙව් මෛතී‍්‍රගේ විනය පරීක්ෂණවලින් නවගත්තේගම සරත් ආනන්දලා ද`ඩුවම් විඳියි කියලා හිතන කවුරු හරි තාම ඉතුරු වෙලා ඉන්නවද? එහෙම කවුරු හරි ඉන්නව නම් එයාට අපි කියන්නෙ බුදු සරණයි නෙවෙයි. බොදු බල සේනා සරණයි කියලා.
මර්වින් සිල්වාගේ ඉඳන් සාරුවා සුනිල් හරහා තංගල්ලේ නිල් බළකායේ ලොක්කා වෙනකං හැම එකාගෙම විනය පරීක්ෂණවලට මොකද වුණේ කියන ගොං ප‍්‍රශ්නය අපි නං අහන්නෙ නෑ.
සාරුවා සුනිල් දැරියන් සිය ගණනකට අතවර කෙරුවෙ ‘සිංහල ජාතිය බෝ කරන්න’ කියල කවුරු හරි සේනාවක් කියනකං අපි මේ බලං ඉන්නෙ. තංගල්ලෙ ප‍්‍රා.සභාපති සුද්දියන්ට අතවර කරන්නෙ ‘සුදු අධිරාජ්‍යවාදීන්ට විරෝධය පළ කරන්න’ කියල කවුරු හරි දේශපාලකයෙක් කියනකං අපි මේ බලං ඉන්නෙ. කරුණාකරල හිනා වෙන්න එපා. මේක ඒ තරම් සුන්දර රටක්.

මේ සේරම දිහා ටෙනීගෙ – බන්දුගෙ විහිළු චිත‍්‍රපටි බලනවා වගේ බලං ඉන්න, ඇනස්ලි – බර්ටි – සැමුවෙල්ගෙ විනෝද සමය අහනව වගේ අහන් ඉන්න ‘බුද්ධිමත් ජනයා’ මොකද කරන්නෙ?
මේ තත්වය ‘මීඩියා’ වල කට්ටිය නම් ටොප් එකට තේරුම් අරං ඉන්නෙ. ඒකනේ, හතට – අටට – දහයට අර කතා, මේ කතා, කට කැඩිච්ච කතා, ගොබ්බ කතා, වල් බූරු කතා කිය කිය ජනතාවට රස දෙන්න එක එක ජාතියෙ ‘සෙග්මන්ට්’ හදල තියෙන්නෙ.

ඒව බලලා චූ කරල නිදාගන්න රටක මිනිස්සුන්ව – කවදාවත් කිසි දෙයක් ප‍්‍රශ්න නොකරන මිනිස්සුන්ව කවුරු කොහොම කොතැන දණගස්සයිද කියල සහතික දෙන්න අමාරුයි. ප‍්‍රශ්නෙ සරලයි. සුගමයි. උත්තරය සරලත් නෑ. සුගමත් නෑ. ප‍්‍රශ්නෙ මේකයි. දණ ගහනවද? නැගිටිනවද?

විමල් කැටිපෙආරච්චි