ඉතිරි කර ගිය දෑ අපමණය

SUCHARITHA GAMLATH

සාහිත්‍ය කලා සේවනයේ, දේශපාලනයේ, දර්ශනවේදයේ, භාෂා විශ්වයේ මහාචාර්ය සුචරිත ගම්ලත් සිටි තැන අතිවිශාල හිස් තැනක් ඉතිරි වී ඇත. ඒ ඔහු නික්ම ගොස් ඇති බැවිනි. ඔහු විසින් පාදා මතුකොට ගත් ඓතිහාසික දැනුම සමතික‍්‍රමණය කරමින් නිෂ්පාදිත නව දැනුම් සංචිතය පමණක් තවත් පරම්පරා ගණනක දැනුම් පෝෂණය සඳහා සෑහේ.

එහෙත් ශාස්තී‍්‍රය ගවේෂණයෙහි, භාවිත දේශපාලන න්‍යාය විග‍්‍රහයේ දී මහාචාර්ය ගම්ලත්ගේ සක‍්‍රීය මැදිහත් වීම අහිමි වීමේ පාඩුව ජාතිකෝන්මාදයෙන් වියරු වට්ටනු ලැබ ඇති ජන සමාජයකට කෙසේ සංවේදනය වනු ඇත්දැයි වටහා ගැනීම දුෂ්කරය.

බුද්ධ දර්ශනයෙහි, බෞද්ධ පිළිවෙතෙහි සප‍්‍රාමාණික අසමසම උගතකු වූ ඔහු අවසන් ගමන් ගියේ යළි ඉපදීම පිළිබඳ බලාපොරොත්තුවකින්  හෝ බියකින් නොවේ. බෞද්ධ දර්ශනය පරතෙරට දත් හෙතෙම සිය ජීවිතයේ අවසාන මොහොතේ හෝ පිරිත් නූලකට, බෝ ගසකට උත්තරීතර මිනිස්කම පාවා දෙන්නට තරම් බියගුලූ නොවූවේය. රෝගාතුර වූ සිරුර තමන් එතෙක් දරා සිටි ප‍්‍රාණය තවදුරටත් දරා සිටීමට නොහැකි වූ තැන ක‍්‍රියා විරහිත විය. තවදුරටත් සුචරිත ගම්ලත් නමින් අප අතර සැරිසරන භෞතික ශරීරයක් හෝ ජීවියෙක් නොමැත. එහෙත් ඔහු විසින් සම්පාදනය කොට මනුෂ්‍යවර්ගයා වෙත ඉතිරි කර ගිය අතිමහත් දැනුම් සම්භාරය පමණක් නොදිරමින් අප අතර පවතිනු ඇත.

ඒ දැනුම සහ ගම්ලත් පිළිබඳ මතකය මේ මොහොතේ සුවිශේෂ වැදගත්කමක් උසුලන්නේ ඉතිහාසයෙන් පාඩම් ඉගෙන නොගන්නා ජාතිසබඑරයකට සිය ඔළමොට්ටළකම් ගැන පාඩමක් කියාදීමටය.

  • අශෝක හඳගම