සුචරිත ගම්ලත්: පුරෝගාමී විකල්ප සංස්කෘතික බුද්ධිමතා

nation photoඕනෑම බුද්ධිමය ව්‍යායාමයක් තුළ පරිවර්තනකාරී විභවයක් තිබේ ය යන අර්ථයෙන් ගතහොත් නම්
එම ප‍්‍රකාශයේ වලංගුතාවක් ඇති බව කිව හැක. එහෙත් ‘වචනයේ හොඳම අර්ථයෙන් ගත් කල් හී ඔවුහු  පරිවර්තනකාරී බුද්ධිමතුන්’ යැයි පවසන විට එය තරමක අධිතක්සේරුවක් ලෙස පෙනේ. විශේෂයෙන්ම සංස්කෘතික බුද්ධිමතෙක් ලෙස සුචරිත ගම්ලත් වැන්නෙක් ඉදිරියේ පැවැති බුද්ධිමය-දේශපාලන අභියෝගයට සාපේක්ෂව බලන කල් හී එය බෙහෙවින්ම අධිතක්සේරුවකි.

විමල් දිසානායක සිය Enabling Traditions: Four Sinhala Cultural Intellectualsයන කෘතියේ ඔහු සංස්කෘතික බුද්ධිමතුන් ලෙස හඳුන්වන සිංහල සමාජයේ ක‍්‍රියාත්මක වූ හා ක‍්‍රියාත්මක වන බුද්ධිමතුන් හතර දෙනෙක් පිළිබඳව සාකච්ඡුා කරයි. එනම් මුණිදාස කුමාරතුංග, මාර්ටින් වික‍්‍රමසිංහ, එදිරිවීර සරච්චන්ද්‍ර හා ගුණදාස අමරසේකර යන හතර දෙනා ය.

මෙම සංස්කෘතික බුද්ධිමතුන් යන ප‍්‍රවර්ගය අපගේ අවධානයට ලක් කිරීම සුදුසු ය. පැහැදිලිවම මෙහි දී අපට විමල් දිසානායකගේ ප‍්‍රවේශයෙන් ඔබ්බට යාමට සිදු වේ. විමල් දිසානායක මෙම බුද්ධිමතුන් හතර දෙනාගේ පොදු ලක්ෂණය දක්වන්නේ මෙසේය: ‘‘මේ සියලූ දෙනාම සම්ප‍්‍රදායේ අර්ථය හා සමකාලිකත්වය උදෙසා පොහොසත් ගවේෂණයක වෙහෙස නොතකා නිරත වූවෝ වෙති. වචනයේ හොඳම අර්ථයෙන් ගත් කල් හී ඔවුහු පරිවර්තනකාරී බුද්ධිමතුන් වූහ’’ (පිටුව 10)

ලංකාවේ සංස්කෘතික බුද්ධිමතුන් පිළිබඳ විමල් දිසානායකගේ මෙම නිර්වචනයට සාපේක්ෂව අපට සුචරිත ගම්ලත් ස්ථානගත කළ හැක්කේ කෙසේ ද? මේ සඳහා අපට විමල් දිසානායකගේ නිර්වචනය තුළ එන ‘සම්ප‍්‍රදාය’ හා ‘පරිවර්තනය’ යන වචන දෙක විමසා බැලිය යුතුය. ආසන්න අර්ථවලින් ගත් කල මෙම වචන දෙක අන්‍යෝන්‍ය වශයෙන් බහිෂ්කාරී (Mutually exclusive) ලෙස පෙනී යාමට ඉඩ තිබේ. එය විමසා බැලීම වැදගත් වන්නේ සුචරිත ගම්ලත්ගේ බුද්ධිමය භාවිතාව තුළ ද සම්ප‍්‍රදාය සහ පරිවර්තනය යන සාධක දෙකට වැදගත් ස්ථානයක් ලැබෙන බැවිනි. ගම්ලත් සම්බන්ධ ප‍්‍රකට සත්‍යයක් වන්නේ ඔහු ඉතාම තිරසාර ලෙස ‘සම්ප‍්‍රදාය’ හැදෑරීමේ අත්‍යවශ්‍යතාව අවධාරණය කළ බවයි. එලෙසම ප‍්‍රකට සත්‍යය වන්නේ ඔහු එලෙසම තිරසාර ලෙස සමාජ පරිවර්තනය සම්බන්ධව විප්ලවීය දැක්මක් මත පිහිටා කටයුතු කළ බවයි. එසේ නම් විමල් දිසානායකගේ සංස්කෘතික බුද්ධිමතුන් සිව්දෙනා සහ සුචරිත ගම්ලත් අතර වෙනස අප තේරුම් කරන්නේ කෙසේ ද?

එම වෙනස තේරුම් ගැනීම සඳහා සුචරිත ගම්ලත් ලංකාවේ පශ්චාත් යටත්විජිත සංස්කෘතික නිර්මිතිය තුළ ක‍්‍රියාත්මක වූ ආකාරය විමල් දිසානායකගේ සංස්කෘතික බුද්ධිමතුන් සිව්දෙනා එලෙස ක‍්‍රියාත්මක වූ ආකාරයෙන් වෙනස් වෙන්නේ කෙසේ ද යන්න විමසා බැලිය යුතුය. වෙනත් ආකාරයකින් කියනවා සමුච්චිත බුද්ධිමය ධනය (Accumulated intellectual wealth) යළි සුසම්බන්ධකරන්නේ (Re-articulation) කෙසේද යන ගැටලූවට මේ බුද්ධිමතුන් දෙවර්ගය මුහුණ දුන් වෙනස් ආකාර දෙස බැලිය යුතුය. මා මෙහිදී සම්ප‍්‍රදාය යන පදය වෙනුවට අන්තෝනියෝ ග‍්‍රාම්ස්චි භාවිත කළ යෙදුමක් වන ‘සමුච්චිත බුද්ධිමය ධනය’ යන ප‍්‍රස්තුත ගත කිරීම භාවිත කරමි.

විමල් දිසානායකගේ සංස්කෘතික බුද්ධිමතුන් සිව්දෙනා තමන් ඉදිරියේ පැවැති සමුච්චිත බුද්ධිමය ධනය යළි සුසම්බන්ධ කළ ආකාරයේ ප‍්‍රතිඵලය වූයේ පශ්චාත් යටත්විජිත හෙජමොනික බුද්ධිමය නිර්මිතයයි. සුචරිත ගම්ලත් විසින් ඉෂ්ට කරන ලද්දා වූ එක් කාර්යභාරයක් වූයේ මෙම පශ්චාත් යටත්විජිත හෙජමොනික බුද්ධිමය නිර්මිතයට අභියෝග කිරීමයි. ඔහු එය සිදු කරනු ලැබූවේ විප්ලවවාදී කොමියුනිස්ට් සංගමයට සම්බන්ධ වීම හරහා පැමිණි මාක්ස්-ට්‍රොට්ස්කිවාදී දේශපාලන දැක්ම හා මාක්ස්වාදී කතිකාව හරහා පැමිණි ඇතැම් බුද්ධිමය මෙවලම් සුසම්බන්ධකොට තැනූ විචාරාත්මක කතිකාවක් මඟිනි.

විමල් දිසානායකගේ සංස්කෘතික බුද්ධිමතුන් සිව්දෙනා මෙන්ම සුචරිත ගම්ලත් ද ඉදිරියේ පැවැති සමුච්චිත බුද්ධිමය ධනයේ පොදු ගුණාකාරය වන්නේ ඒ.එල්. බෂාම්ගේ ‘අසිරිමත් ඉන්දියාව’ (The Wonder that was India) යන කෘතියට විෂය වස්තුව වන ‘ඉන්දු ශිෂ්ටාචාරය’ තුළ හා එහිම දිගුවක් ලෙස ආරම්භ වී එහි වර්ධනය තුළ යම් යම් සුවිශේෂ ලක්ෂණ ද අත්පත් කරගනිමින් විකාශය වූ ලංකාවේ රජරට ශිෂ්ටාචාරය තුළත් එහි බිඳ වැටීමෙන් පසුව එහි ම අඛණ්ඩත්වයන් ලෙස ශේෂ වී සකස් වූ බුද්ධිමය භාවිතාවන් හරහා සම්පාදනය වූ දැනුම් සමස්තයයි. සාමාන්‍ය ව්‍යවහාරයේ ස්වදේශීය සම්ප‍්‍රදාය ලෙස හැඳින්වෙන්නේ මෙම සමුච්චිත දැනුම් සමස්තයටයි.

විමල් දිසානායකගේ සංස්කෘතික බුද්ධිමතුන් සිව්දෙනාගේ බුද්ධිමය භාවිතාව සුචරිත ගම්ලත්ගේ බුද්ධිමය භාවිතාවෙන් වෙනස් වන ආකාරය තේරුම්ගත හැක්කේ මෙම ඊනියා ස්වදේශීය සම්ප‍්‍රදායට අභිමුඛ වීමේ දී පාර්ශ්ව දෙක අතර පැවැති අතිමූලික වෙනස සලකා බැලීමෙනි. විමල් දිසානායකගේ සංස්කෘතික බුද්ධිමතුන් සිව්දෙනා අතර මෙන්ම එකිනෙකා තුළම ද කලින් කලට ඊනියා ස්වදේශීය සම්ප‍්‍රදාය සමඟ ගනුදෙනු කළ යුත්තේ කෙසේ ද යන්න ගැන වෙනස්කම් පැවැතිණි. කෙසේ වෙතත් අවසානයේ දී අඩු වැඩි වශයෙන් මේ සිව් දෙනාම කිසියම් පොදු තැනක ‘පදිංචි වූ’ බව පෙනේ. ලංකාවේ පශ්චාත්-යටත්විජිත හෙජමොනිය ස්ථාපිත වී තිබුණේ මේ සිව්දෙනා අවසාන වශයෙන් පදිංචි වූ පොදු ස්ථානයේ ය.

මේ අර්ථයෙන් ගත් කල මේ බුද්ධිමතුන් සිව්දෙනා පරිවර්තනකාරී බුද්ධිමතුන් ලෙස විමල් දිසානායක විසින් හඳුනාගනු ලැබීම සාධාරණ වන්නේ බෙහෙවින් සීමිත අර්ථයකින් බව පෙනේ.  ඕනෑම බුද්ධිමය ව්‍යායාමයක් තුළ පරිවර්තනකාරී විභවයක් තිබේ ය යන අර්ථයෙන් ගතහොත් නම් එම ප‍්‍රකාශයේ වලංගුතාවක් ඇති බව කිව හැක. එහෙත් ‘වචනයේ හොඳම අර්ථයෙන් ගත් කල් හී ඔවුහු පරිවර්තනකාරී බුද්ධිමතුන්’ යැයි පවසන විට එය තරමක අධිතක්සේරුවක් ලෙස පෙනේ. විශේෂයෙන්ම සංස්කෘතික බුද්ධිමතෙක් ලෙස සුචරිත ගම්ලත් වැන්නෙක් ඉදිරියේ පැවැති බුද්ධිමය-දේශපාලන අභියෝගයට සාපේක්ෂව බලන කල් හී එය බෙහෙවින්ම අධිතක්සේරුවකි.

සුචරිත ගම්ලත්ගේ පුරෝගාමී මෙහෙවර වූයේ විමල් දිසානායකගේ සංස්කෘතික බුද්ධිමතුන් සිව්දෙනාගේ බුද්ධිමය කි‍්‍රයාකාරීත්වය මඟින් නියෝජිත මෙම පශ්චාත්-යටත්විජිත හෙජමොනිය සංස්කෘතික පෙරමුණ ප‍්‍රශ්න කරන විකල්ප බුද්ධිමය අවකාශයක් නිර්මාණය කිරීමයි. විශේෂයෙන් ම ඔහුගේ බුද්ධිමය ජීවිතයේ බෙහෙවින්ම ක‍්‍රියාකාරී සමය වන 1980 දශකය තුළ ඔහු නියැළි සංස්කෘතික කි‍්‍රයාකාරකම් ඇසුරෙන් මෙම විකල්ප බුද්ධිමය අවකාශයේ මතු වීම පැහැදිලිව හඳුනාගත හැකිය. මා මීට පෙර රාවය පුවත්පතට සම්පාදනය කරන ලද වියමනක ඇවන්ගාඞ් වාමාංශය නමින් හඳුන්වනු ලැබුවේ මෙම විකල්ප බුද්ධිමය අවකාශයයි.

ඇත්ත වශයෙන්ම මා එහිදී සාකච්ඡුා කර ඇති ආකාරයට සංස්කෘතික ක‍්‍රියාකාරකම් ක්ෂේත‍්‍රයක් ලෙස මෙම ඇවන්ගාඞ් වාමාංශයේ මුල් සුචරිත ගම්ලත්ගේ බුද්ධිමය මැදිහත් වීම් සිදු වූ සමයෙන් ඔබ්බට යයි. එහෙත් මේ සංස්කෘතික ක‍්‍රියාකාරකම් ක්ෂේත‍්‍රය නිශ්චිත ප‍්‍රති-හෙජමොනික සැකැස්මක් ලෙස පරිණත තත්වයට පත් වන්නේ සුචරිත ගම්ලත්ගේ පුරෝගාමී මැදිහත් වීම සමඟයි. සුචරිත පුරෝගාමී විකල්ප සංස්කෘතික බුද්ධිමතා ලෙස මා හඳුන්වන්නේ මේ නිසාය.

නිර්මාල් රංජිත් දේවසිරි