මහාචාර්ය ගම්ලත්ගේ උරුමය

IMG_0728
ඉහට වහලක් නැතත්
සොයා යව් විදුහල
ගත වෙවුලත සීතලෙන්
මොළවව් ඥාන අග්නිය
සා පිපාසා පහරත
ගනිව් පොත සුරතට –
එයයි තොප ආයුධය
උදුරා ගනිව් නායකත්වය

මහාචාර්ය සුචරිත ගම්ලත් පළමු වරට මා හමුවන විට මට වයස යන්තම් අවුරුදු හයක් පමණ විය. එකල අපගේ නිවසේ එළිපත්තේ වූ ඒ හමුවේ නොපැහැදිලි මතකය අතර නිරවුල්ව පෙනෙනා එකම දේ වන්නේ ඔහු මා වෙත දුන් පැහැදිලි ඔවදනයි; ‘‘පුතේ, ඉගෙන ගන්න, අපිට වෙන දෙන්න කිසිම ධනයක් නැහැ.’’

නමුත් සමකාලීන පර්යාවලෝකයකින් බැලූ විට මෙම නිරවුල් මතකයේ පැහැදිලි වදන් පෙළ අරුත් ගැන්වෙන ආකාරය බිහිසුණු ලෙස විපර්යාසයට ලක් වී තිබේ යැයි හැෙඟ්. ඇත්ත, අධ්‍යාපනය සම්බන්ධයෙන් ඇති පශ්චාත් යටත් විජිත අර්ථ නිරූපණය තුළ ආධිපත්‍යය දරන්නේ අධ්‍යාපනය යනු සමාජ හිණි පෙතේ ඉහළට නැඟිය හැකි උපකාරකයක් යන්නයි. නමුත් මහාචාර්ය ගම්ලත් සිය ඉතාම පුළුල් සහ ප‍්‍රශස්ත බුද්ධිමය ජීවිතය තුළ අපට නිරන්තරයෙන් මතක් කිරීමට අමතක නොකළ දෙයක් වන්නේ ‘වස්තුවකට ප‍්‍රයෝජන දෘෂ්ටිකෝණයෙන් එළඹීම සෞන්දර්ය සුඛාස්වාදී දෘෂ්ටිකෝණයෙන් එළඹීමට පූර්වංගම’ වන බවයි.

එනිසා ‘ඉගෙන ගැනීම’ යනු අපට උරුම වන එකම ‘ධනය’ කියා ඔහු කියන දෙය ‘හොඳට ඉගෙන ගෙන විශාල පෝසතෙක් වීමට හැකි වේ’ යන සමකාලීන ජීවන දහමට මුළුමනින් පරස්පර වේ. මධ්‍යම බ‍්‍රසීලියානු ඉන්දියානුවන්ගේ සහ නිව්ගිනියාවේ පැපුවාවරුන්ගේ ඉතිහාසයේ පනා නිපදවීමේ විකාසය පිළිබඳ මහාචාර්ය ගම්ලත්ගේ විග‍්‍රහයෙන් අපිට මෙය පහදා ගත හැකිය. ලණුවකින් ගැට ගැසූ කෝටු කැබලි කිහිපයක් වූ පනාව වෙනුවට තනි ලෑල්ලක දැති කපා, ලණුවක් නොමැතිව නිමවූ පනාව තුළත් ඔවුන් දැතිවලට ඉහළින් සිහින් ඉරි ඇඳ තිබේ. ඒ කලින් පනාවේ ලණු තිබුණ තැන්හීය. දැන් මේ අලූත් පනාව තුළත් ලණුවක හැඩ තල තිබුණත් එහි භූමිකාව පෙර මෙන් ප‍්‍රයෝජන වටිනාකමක් නොවීය. එහි වටිනාකම තිබෙන්නේ එය තුළමයි.

මහාචාර්ය ගම්ලත් පෙනී සිටියේත් අරගල කළේත් මෙවැනි අධ්‍යාපනයක් වෙනුවෙනි. මේ රචනයේ ආරම්භයේ මා උපුටා දැක්වූ බ්‍රෙෂ්ට්ගේ පදවැල තිබෙන කෘතියේ මාතෘකාවේ ඇති පරිදි ඔහු උගත්තේත් උගැන්වූයේත් ‘සාහිත්‍ය, කලා ආදිය ගැන’යි. එවිට

‘‘සාහිත්‍යය කන්නද?’’ කියා සමකාලීන නව ලිබරල්වාදියා අසන විට මහාචාර්ය ගම්ලත් එක හෙළා පවසන්නේ ‘‘නැත! කන්නට තිබෙන දෙයෙහි දෘෂ්ටිකෝණයෙන් එදෙස බැලීම ප‍්‍රාථමික, සත්ව පැවැත්මට ඉතා ආසන්න වේ’’ කියාය.

‘සාහිත්‍ය, කලා ආදිය’ ගැන කතා කරන බොහෝ පිරිස් මට මුණ ගැසී තිබේ. නමුත් පුවත්පත් ලිපි, වෙබ් අඩවිවල සිට ප‍්‍රසිද්ධ සම්මන්ත‍්‍රණ දක්වා මේ පිළිබඳව කතා බහ කරන විවිධ තරුණ තරුණියන් සහ මහාචාර්ය ගම්ලත්ගේ සංවාද අතර තිබෙන්නේ අතිවිශාල පරතරයකි. මේ පරතරය පිළිබඳව බැරුම් ලෙස සිතා බැලීම අද දවසේ දැවෙන අවශ්‍යතාවකි. යමක් දෙස බැ?රුම් ලෙස සිතා බලනවා යන්නෙන් අදහස් කරන්නේ එහි තිබෙන වටිනාකම මෙන්ම සීමාව කුමක්ද කියා ද සැලකිල්ලට ගැනීමකි.

අපි සංසන්දනය සඳහා අපගේ පෞද්ගලික ජීවන ඉතිහාසයට සම්බන්ධ ඞ කණ්ඩායම යන්න නිදර්ශනයක් ලෙස ගනිමු.  x කණ්ඩායම විසින් සමාජගත කිරීමට යෝජනා කළ දාර්ශනික සංකල්පීය රාමුවට සාපේක්ෂව මහාචාර්ය ගම්ලත්ගේ විචාර මිනුම් දඬු බෙහෙවින් සීමාකාරී වෙයි. කලාව සම්බන්ධයෙන් ඔහු ජීවිත කාලය පුරා පෙනී සිටි ‘කලාව යනු යථාර්ථය ඥානනය කිරීමේ මඟකි’ යන්න තවදුරටත් අපට පෙනී සිටිය හැකි තිසීසයක් නොවේ. ඉඩ කඩ සීමිත හෙයින්, ඉතාම කෙටියෙන් පවසන්නේ නම්, මෙහි ගැටලූ දෙකක් පවතී. පළමුවෙන් මෙහි ‘යථාර්ථය’ යනුවෙන් අදහස් කරන නිෂ්පාදන මාදිලිය පිළිබඳ මාක්ස්වාදී විග‍්‍රහය, නිදර්ශනයක් ලෙස, ධනේශ්වර සැකැස්ම පිළිබඳ වඩාත් නිවැරැුදි විශ්ලේෂණය වුවත් එය ‘යථාර්ථයට’ එරෙහි විඥානවාදී අභියෝගය හමුවේ තවදුරටත් ආරක්ෂා කර ගත හැකි ආස්ථානයක් නොවේ. දෙවැනි ගැටලූව වන්නේ මෙහිදී කලාව යන්න පිහිටුවන්නේ දේශපාලනය නම් සුසමාදර්ශයේ උපාංගයක් ලෙස වන නිසා කලා කෘතියක විශාලත්වය මෙමඟින් මඟහැරී යාමේ අවදානමක් තිබීමයි.
මෙයට ප‍්‍රතිපක්ෂව අප x කණ්ඩායම ලෙස යෝජනා කළ දාර්ශනික ආස්ථානයන් හැට හැත්තෑ දශකවල ප‍්‍රංශ දර්ශනය පදනම් කරගත් සංකීර්ණ සංකල්පීය පදනමක් දරා ගත්තක් වීය. ඩෙරීඩාගේ විසංයෝජනය, ලැකේනියානු මනෝවිශ්ලේෂණය, ෆූකෝගේ දර්ශනය ආදිය විසි වැනි සියවසේ අවසාන කාර්තුවේ ලොව කැලඹූ, දුරදිග යන බුද්ධිමය පෙරළියකට මූලාශ‍්‍ර විය හැකි බුද්ධිමය ව්‍යාපාරයකි.

නමුත් x කණ්ඩායමේ මැදිහත් වීම නිසා ලංකාවේ ඩෙරීඩා, ලැකෝන් නැතිනම් ෆූකෝ සම්බන්ධයෙන් විධිමත් අධ්‍යයනයන් සිදු වී තිබේද? කෙනකු එවැනි දේ කර තිබේ යන්න සම්බන්ධයෙන් අපිට පිළිගැනීමට හැකි සාක්ෂි වර්ග දෙකක් තිබේ. පළමුවෙන් එම අධ්‍යයනයන් සියල්ලන්ටම කියවිය හැකි ලෙස, මහාචාර්ය ගම්ලත්ගේ වචනයෙන් කියන්නේ නම් ‘ජනගත’ වී තිබිය යුතුය. නැති නම් එවැනි අධ්‍යයනයන් කෙරෙන විශ්වවිද්‍යාලවලට ගොස් ඒ පිළිබඳව ප‍්‍රාමාණික පුද්ගලයන් ඉදිරියේ පර්යේෂණයට භාජනය විය යුතුය. නමුත් ඉහත ප‍්‍රංශ දාර්ශනික ව්‍යාපාරය සම්බන්ධයෙන් එවැනි කිසිවක් ලංකාවේ සිදු නොවිණි. උපරිම ලෙස සිදු වූයේ එම චින්තකයන්ගේ යම් යම් සංකල්ප ගැන කෙටි විග‍්‍රහයන් අඩංගු වන ලිපි පොත්වල සහ සඟරාවල පළ වීමයි.

දැන් මෙය මහාචාර්ය ගම්ලත්ගේ මැදිහත් වීම සමඟ සංසන්දනය කළ විට අපිට ලැබෙන ප‍්‍රතිඵලය කුමක්ද? ජීවිත කාලයක් මුළුල්ලේ අධ්‍යයනය කළ හැකි ඔහුගේ අතිවිශාල බුද්ධිමය සම්ප‍්‍රදානය තුළ තිබෙන්නේ ඉතාම දීර්ඝ සහ ආකර්ෂණීය පැහැදිලි කිරීම්, විශ්ලේෂණ ආදිය ඇසුරින් බිහි වන විශිෂ්ට සාහිත්‍යයකි. එහිදී  ඕනෑම කෙනකුට ඉගෙන ගැනීමට බොහෝ දේ තිබේ. මාක්ස් – ලෙනින්වාදය, ට්‍රොට්ස්කිවාදය ආදියේ සිට පෙරදිග චින්තනයේ එන රසවාදය, ධ්වනිවාදය පිළිබඳව මෙන්ම කලාවේ ඉතිහාසයේ එන විවිධ සිදුවීම් ද මහාචාර්ය සරච්චන්ද්‍රගේ ස්ථාපිත කලා විචාරයට එරෙහි විධිමත් විවේචනයක් ද ඇතුළත් මනා දැනුම් සම්භාරයක් එහි අඩංගු වෙයි.

මේ අතින් මහාචාර්ය ගම්ලත්ගේ මැදිහත් වීම අද්විතීය වේ. එය කිසිසේත්ම ‘බාගෙට තැම්බූ’ බුද්ධිමය ප‍්‍රකාශන නොවීය. ‘පශ්චාත් – නූතනවාදය’ සම්බන්ධයෙන් මහාචාර්ය ගම්ලත් දැක්වූ නිෂේධනීය ආකල්පය සාධාරණ වන්නේ මෙම නිසාය. ඔහුගේ සුවිසල් බුද්ධිමය දායකත්වයට සාපේක්ෂව ‘පශ්චාත් – නූතනවාදය’ පිළිබඳව මහත් උනන්දුවක් දැක්වූ පරපුර නිසරු විලාසිතා පසු පස යන්නන් කියා ඔහු සිතුවේ නම් එය පුදුමයට කරුණක් නොවේ.

මහාචාර්ය ගම්ලත්ගෙන් අප වෙත ලැබී තිබෙනා උරුමය මෙන්ම අභියෝගය වන්නේ ද මෙම මහා බුද්ධිමය සම්ප‍්‍රදානය ජාතික බුද්ධිමය සම්ප‍්‍රදායක් ලෙස වර්ධනය කිරීමයි. එහෙන් මෙහෙන් අහුල ගත්ත වචන – මෝස්තර තියෙන බාගෙට තැම්බූ පල් හෑලි ලියන එක වෙනුවට අප අද දවස තුළ වඩාත් වැදගත් වන්නේ වර්තමාන අභියෝගවලට මුහුණ දිය හැකි පුළුල් සංකල්පීය රාමුවක් බිහි කිරීමයි. මේ සඳහා මහාචාර්ය ගම්ලත්ගෙන් අපිට ලැබෙන ආදර්ශය සහ අනුප‍්‍රාණය වෙන කිසිවකුගෙන් නොලැබේ. මේ අරුතින් ඔහු අපේ යුගයේ අසහාය සංස්කෘතික – බුද්ධිමතා වෙයි.

වරක් ෆ්‍රොයිඞ් සම්බන්ධයෙන් ලැකෝන් කළ ප‍්‍රකාශයක් මට සිහියට නැෙඟ්. ලැකෝන් කියනවා ෆ්‍රොයිඞ් කියන්නේ අනිත් හැමෝම වගේ මරණය, ගැහැනිය, පියා නම් වූ ජීවිතයේ අනිශ්චිතතාවලින් තර්ජනයට ලක් වෙච්ච මිනිහෙක් කියලා. ඉදිරි සති දෙක තුන තුළ මාධ්‍ය – සංවාදවල මහාචාර්ය ගම්ලත් පිළිබඳව ගොඩනැෙඟන ජීවිතයට – වඩා – විශාල ප‍්‍රතිරූපය (larger-than-life-image) හමුවේ මෙය මතක තබා ගැනීම බොහෝ වැදගත් වෙයි කියා මට සිතේ. සුචරිත ගම්ලත් කියන සාමාන්‍ය මනුස්සයා අපට උරුම කර ගිය මහා බුද්ධිමය ධනය හඳුනා ගැනීමටත් වර්ධනය කිරීමටත් එය අතිශයින් වැදගත් වේ.

වංගීස සුමනසේකර