ම`ග හැර යා නොහැකි විචාර භූමිකාව : සුචරිත ගම්ලත්

su_hiru_attack_06මහාචාර්ය සුචරිත ගම්ලත් අවසන් ගමන් යන බව දක්වමින් ‘දිවයින’ පුවත්පතේ සඳහන් වූ පුවත කියවමින් සිටියෙමි. ඒ අසලට පැමිණි පැරණි දේශපාලන මිතුරෙක් (වර්තමානයේ මිතුරෙක්) මා කියවමින් සිටි පුවත දැක ‘‘ඔහේ මැරිලා ගියා නේද?’’ යි ඇසුවේය. එය බොහෝ විට ඔහු අදටත් නියෝජනය කරන දේශපාලන සංවිධානය, මිනිසුන් පිළිබඳ දක්වන ආකල්පය විය හැකිය. මිනිසුන් පිළිබඳ ඔවුනගේ ආකල්පයට අනුව සියල්ලන් ඔවුනගේ සංවිධානයේ පූර්ණකාලීන ක‍්‍රියාධරයන් විය යුතුය. සංවිධානයට පිටින් හිඳිමින් එය විවේචනය කරන්නන් පමණක් නොව සංවිධානය තුළ ක‍්‍රියාකාරී වී පසුව ඉන් ඉවත් වූවන් පවා ද්‍රෝහීන් ලෙස සලකන තත්වයක් තුළ ගම්ලත් සම්බන්ධයෙන් මගේ පැරණි දේශපාලන සටන් සගයා දැරූ ආකල්පය පුදුමයක් නොවේ.

එහෙත් ඔහුගේ ප‍්‍රකාශය වැදගත් සංවාදයක් සඳහා කතිකා දොරටු විවර කරන්නකි. ඉතිහාසය තුළ මිනිසකුගේ මැදිහත් වීම ඇගයීම සඳහා භාවිත කළ යුතු නිර්ණායක කවරේද? පෞද්ගලිකත්වය සමාජ සංවර්ධන ක‍්‍රියාවලියෙහිලා කිසිදු බලපෑමක් සිදු නොකරන්නේද? සමාජ විප්ලවයෙහිලා සාහිත්‍ය – කලාකරුවාගේ හා විචාරකයාගේ කාර්යභාරය කුමක්ද? ආදී දාර්ශනික ප‍්‍රශ්න රැුසක් උක්ත සොහොයුරාගේ ප‍්‍රකාශයෙන් ප‍්‍රතීයමාන වේ.

කාල් මාක්ස්, මිනිසා පරිසරයේ හා ලෝකයේ කොටසක් සේම පරිසරය හෙවත් ලෝකය තමන්ගේ අවශ්‍යතාවට අනුව වෙනස් කිරීමෙන් තමන්ව ද වෙනස් කර ගැනීමේ ක‍්‍රියාවක එකවර නිරත වන බව සිය ප‍්‍රාග්ධනය නමැති ග‍්‍රන්ථයේ දී පෙන්වා දෙයි. ඉතිහාසය තුළ මිනිසාගේ වැදගත්කම මැන බලනුයේ මෙකී පරිසරයේ හෝ සමාජයේ මානුෂික පරිවර්තනයක් ස`දහා ඔහු හෝ ඇය විසින් සිදු කරන ලද කාර්යභාරය අනුවය. නොඑසේව ඔහු හෝ ඇය තමන්ගේ දේශපාලන සංවිධානය නියෝජනය කරන්නේද, තම සංවිධානයේ තනතුරු දරා තිබෙන්නේද යන කරුණ මත මිනිසුන් ඇගයීම මාක්ස්වාදී ස්වභාවය නොවේ. එය පැහැදිලිවම මාක්ස් විසින් ප‍්‍රතික්ෂේප කරන ලද මිනිසුන් පිළිබ`ද උපකරණමය ගණන් බැලීමේ ධනේශ්වර විධික‍්‍රමයේම වෙනත් ප‍්‍රකාශනයකි.

පරිසරය මානුෂික කිරීමේ ක‍්‍රියාවලියට ගම්ලත් විසින් සිදු කර ඇති දායකත්වය කුමක්ද? සාහිත්‍ය-කලා සමාජ විචාරකයකු ලෙස ඔහු ඒ ස`දහා  සිදු කර ඇති දායකත්වය කුමක්ද? මීට පිළිතුරු නොදී පුද්ගලයන් පිළිබ`ද විනිශ්චයන්ට එළඹීම වියුක්ත නිගමනයන්ට අවතීර්ණ වීමක් වනු ඇත. විචාරකයකු ලෙස කිසිසේත්ම ගම්ලතුන්ගේ භූමිකාව ම`ග හැර යා නොහැකි බව වැටහෙනුයේ උක්ත ප‍්‍රකාශයන්ට පිළිතුරු සම්පාදනය කිරීමේ දී ය. ඔහු තමන් ජීවත් වන යුගයේ සමාජ පරිසරය පැහැදිලිවම මානව විරෝධී බව පැවසීමට සිය ශක්තීන් හා හැකියාවන් උපයෝගී කරගත්තෙකි. ඔහුගේ සෑම කෘතියකම නොවේ නම් බහුතරයකින් ධ්වනිත වූයේ තම සහෝදර සාමාජිකයන් සූරා කෑමට ලක් වීම පිළිබ`දව වූ සානුකම්පිත භාවය හා ඒ පිළිබ`දව වන විරෝධයයි. කවිය, ගීතය, නාට්‍ය, සිනමාව මෙන්ම සාහිත්‍ය විචාර පිළිබ`ද ඔහු පළ කළ අදහස් තම සහෝදර සාමාජිකයන්ගේ අවබෝධය ඉහළ මට්ටමකට එසවීමට උපකාරී වී ඇත. මාක්ස් අන්‍යෝන්‍ය පරිපූර්ණත්වයට (The Doctrine of Mutual Completion) පත් වීමේ පූර්වාංගම තත්වය ලෙස සලකනුයේ එබ`දු ක‍්‍රියාවලියකටය.

‘‘පියානෝ වාදකයකු තම  නිර්මාණශීලී මධුර සංගීතයෙන් සිදු කරනුයේ අපගේ සංගීත සංවේදීත්වය තෘප්තිමත් කිරීම සහ කුළු ගැන්වීමකි. එක්තරා දුරකට අපගේ  සංවේදී බව ඔහු විසින් නිපදවනු ලබන අතර ඔහු අපේ පෞද්ගලිකත්වය වඩා සජීවී සකී‍්‍රය මට්ටමකට ඔසවා තබනු ලබයි.’’    

(Marx, Karl, Gundrisse, Trans, David Melellah, London, 1971, P.94)

විචාරකයකු ලෙස සුචරිත ගම්ලත්  තෘප්තිමත් කරනුයේ අපගේ සංගීත සංවේදීත්වය නොවේ. සිංහල සාහිත්‍ය – කලා ඉතිහාසයේ දෘෂ්ටිවාදී විචාරය  අරඹමින් ඔහු කෘතියක  සංගෘහිත වී ඇති  මානුෂික ගුණාංග හා එම කෘතිය විසින් ඉටු කරනු ලබන මානුෂික අවශ්‍යතාවන් පිළිබ`ද දැනුවත් කිරීම ම පරිසරය මානුෂික කිරීමේ කි‍්‍රයාවලියට ඔහු සැපයූ  දායකත්වය හෙළි කරන්නකි. පහත දැක්වෙන්නේ විවිධ ක්ෂේත‍්‍ර අරබයා ඔහු සිදු කළ එබ`දු මැදිහත් වීම් ඇසුරින්  උපුටා ගත් සංක්ෂිප්ත උද්ධෘත කිහිපයකි.

‘‘බාහිර ස්වභාවධර්මයන් තමාගේ ස්වභාවයන් තමාට අවැසි ලෙස වෙනස් කර ගැනීම ස`දහා සාමාජික මිනිසා නියුක්තව සිටින්නා වූ නිරන්තර අරගලයේම අන්තර්ගතය සංකල්ප රූප ම`ගින් ගෙනහැර දක්වා එම අරගලයම වඩාත් සාර්ථක ලෙස ගෙන යනු පිණිස  අවශ්‍ය වන්නා වූ ඥානමය හා භාවමය සම්පත් මිනිසා වෙත සම්පාදනය කිරීම සැබෑ කලාවේ කාර්යය වන්නේය.’’
(ගම්ලත්, සුචරිත, සාහිත්‍ය කලා ආදිය ගැන, ගොඩගේ, කොළඹ, පිටුව 14)

‘‘යම් කලා කෘතියක සත්‍යය ගැබ් නොවේ නම් දෘශ්‍යමානයන්ම ගැබ් වේ නම් එය ව්‍යාජ කලා කෘතියකි. එය මිනිසාගේ දිරිය බල සි`ද ඔහු අසරණ කරයි. බොහෝ ටෙලි නළු මේ ගණයේ ඒවාය.’’
(ගම්ලත් සුචරිත, සාහිත්‍ය කලා ආදිය ගැන, ගොඩගේ, කොළඹ, පිටුව 70)

‘‘සොබාදහමෙහි බල පවත්වන දෙය සමාජයෙහි ද බල පවත්වයි. ජීවත්වයි. සමාජය ද දිය දහමෙහි විකාශනයෙන්ම මතු වී නොආයේද? එමෙන්ම එය මානව මනසේ ද බල පවත්වයි. මානව මනස සොබාදහමේ කොටසක් වන මිනිසා සොබාදහමට එරෙහිව කළ අරගලයෙන් විකසිත විය.’’
(ගම්ලත්, සුචරිත, ගී මිණි ආර 3, සරසවි, නුගේගොඩ, පිටුව. 54)

‘‘සමාජ පැවැත්ම යනු මිනිසුන් උනුන් සම`ග හවුලේ සොබාදහම වෙනස් කිරීමත් දමනය හා පාලනය කිරීමත් දිවි පැවැත්මට අවැසි දෑ එයින් උපුටා ගැනීමත් ස`දහා ගෙන යන ජීවන අරගලයයි.’’
(ගම්ලත්, සුචරිත, මාක්්ස්වාදය හා සාහිත්‍ය කලා, සරසවි, නුගේගොඩ, පිටුව.15)

සුචරිත ගම්ලත් විචාරකයකු නිරූපණය කළ භූමිකාව තුළ ඔහු අවංක මෙන්ම එඩිතර භාවිතයක නිරත වූ බව පැවසිය යුතුය. එසේම ඔහු අභිමුඛ වී සිටියේ සංකීර්ණ කටයුත්තකටය. ඒ අර්ථයෙන් ඇතැම් දේශපාලන සංවිධානයන්ට වඩා ගම්ලත් අවංක, එඩිතර මෙන්ම සංකීර්ණ භාවිතයක නිරත වූ බව පෙනී යයි. ‘‘ඔහේ මැරිලා ගියා නේද?’’ යන පැනය පැන න`ගින්නේ එබ`දු සරල භාවයකට ඌනනය වූ සමාජ
ව්‍යාපාරයන්ගෙන් බුද්ධිය, ස්වභාවය, මානුෂිකකරණය (Humanization of nature)  කිරීම ස`දහා කැප කළ අතර ඔහුගේ නව නිපදවීම් තම යුගයේ ජනයාට අධ්‍යාපනයක් ලබා දීම ස`දහා හේතු වූ බව අවිවාදිතය. මෙය කිසිසේත්ම සරල කටයුත්තක් නොවන අතර එය නව රාජ්‍යයක් පිහිටුවීම තරම් ම සංකීර්ණ කටයුත්තකි. එබ`දු තත්වයක් යටතේ අවම වශයෙන් ගම්ලත් විසින් මෑතක සම්පාදනය කළ ඉංගී‍්‍රසි – සිංහල මහා ශබ්දකෝෂය තරම්වත් සංකීර්ණ කටයුත්තක් මෑතක දී සිදු නොකළ ව්‍යාපාරයක් ‘‘ඔහේ මැරිලා ගියා නේද?’’ යි ඇසීම බරපතළය. එය දීප්ති කුමාර ගුණරත්න විසින් පවසන වර්ගයේ ජාතික උපමා කතාවකට සමාන වූවකි. සුනේත‍්‍රා රාජකරුණා විසින් සිය පොදු පුරුෂයා නවකතාවේ අසනු ලබන ‘ප‍්‍රභාකරන්ට පේ‍්‍රම කරන්න පුළුවන්ද?’ වර්ගයේ ප‍්‍රශ්න සම්බන්ධයෙන් අදහස් දක්වමින් ලාංකේය සමාජය පිළිබ`ද දීප්ති පවසනුයේ එය එතරම්ම සරල වී ඇති බවයි. සංකීර්ණ මිනිසුන් පිිළිබ`දව ද තමන්ගේ සරල දෘෂ්ටිකෝණයෙන් විභාග කිරීම 3mana වෙබ් අඩවියෙහි දී  ඔහු ඉතා නිර්දය ලෙස විවේචනයට ලක් කරයි.
සුචරිත ගම්ලත් සම්බන්ධයෙන් පැන නැ`ගී ඇති විවේචනයේ අනෙක් පාර්ශ්වයක් වනුයේ ඔහුගේ මැදිහත් වීම හුදු පුද්ගලවාදී තලයක පැවැති බවයි. මාක්ස්වාදයට අනුව පුද්ගල හැකියාවන් බැහැර කරනු ලබන්නේ නැත. එසේ බැහැර කරනු ලබන්නේ නම් ඉතිහාසය තුළ ස්පාටකස්ගේ හෝ ලෙනින්ගේ මැදිහත් වීම අර්ථ සම්පන්න ලෙස විභාග කළ නොහැකිය. එහෙත් මාක්ස් පරිසරය මානුෂික කිරීමේ කාර්යය තනි මිනිසකුට එකලාව සිදු කළ නොහැකි බව අවධාරණය කළේය.

‘‘සෑම පුද්ගලයකුගේම විමුක්තිය සාධනය වනු ලබන්නේ ඉතිහාසය මුළුමනින්ම පාහේ ලෝක ඉතිහාසයට පරිවර්තනය කිරීමේ ප‍්‍රමාණයට අනුපාතිකවය.’’
(Flasher, Helmet, Marxism and history, Trans. Erich Mosbacher, London, 1973, P.23)

මේ අනුව සුචරිත  ගම්ලත්ට පමණක් නොව ස්පාටකස්ට, ලෙනින්ට හෝ මාක්ස්ට පවා හුදෙකලා පුද්ගලයකු ලෙස කි‍්‍රයා කිරීමෙන් මිනිසාගේ මානවීය ශක්‍යතා වර්ධනය කළ නොහැකිය.    ඒ ස`දහා ඔහුට අනෙකාගේ පූර්ණ සහයෝගය අත්‍යවශ්‍යය. මෙය අන්‍යෝනය කි‍්‍රයාවලියකි.

‘‘මේ කි‍්‍රයාදාමයේ පදනම හැටියට මාක්ස් දක්වන්නේ අන්‍යෝන්‍ය හ`දුනා ගැනීමයි. (Mutual recognition) අන්‍යෝන්‍ය හ`දුනා ගැනීමෙන් තොරව හෝ ඉන් බාහිරව අන්‍යෝන්‍ය පරිපූර්ණත්වයක් ඇති විය නොහැක.’’
(මල්ලිකාරච්චි, ඩෙස්මන්ඞ්, මාක්ස්වාදී රචනා, කර්තෘ ප‍්‍රකාශන, 2003, පිටුව 85)

මේ තත්වය ගම්ලත් සම්බන්ධයෙන් පමණක් නොව අවශේෂ පුද්ගලයන් සම්බන්ධයෙන් ද කෙතරම්
ප‍්‍රායෝගික ලෙස කි‍්‍රයාවට නැංවීමට ලාංකේය සමාජ ව්‍යාපාර සමත් වී තිබේද? අන්‍යයන් හ`දුනා ගැනීම සහ අන්‍යයන්ගේ උපකාරයෙන් තමන්ගේ මිනිස්කම ඔප්නංවා ගැනීමට කටයුතු කිරීමෙන් මිනිසා තමන්ගේ සහෝදර සාමාජිකයන් සම`ග මනුෂ්‍යත්වයේ උපරිම ලක්ෂණ භුක්ති වි`දින බව අමතක කළ විට මනුෂ්‍යත්වය තනි තනියෙන් වර්ධනය කරගත යුතු උතුම් පරමාර්ථයක් බව නොපෙනී යයි. පල්ලියට අයිති නැති කි‍්‍රස්තියානිකාරයන් ද කොමියුනිස්ට් පක්ෂයට අයිති නැති කොමියුනිස්ට්වාදීන් ද නිර්මාණය වනුයේ මේ අනුවය.

ගම්ලතුන්ට දේශපාලන කි‍්‍රයාධරයකු ලෙස කටයුතු කළ නොහැකි වුව ද (ඔහු එසේ ද කි‍්‍රයාත්මක වූ බව අපි දනිමු.) ඔහු සිදු කළ සාහිත්‍ය – සමාජ විචාරය දේශපාලන කි‍්‍රයාධරයකු තුළ පවා නව කුසලතාවන් ජනිත කිරීමට, ප‍්‍රතිසංස්කරණය කිරීමට හෝ ප‍්‍රබෝධ කිරීමට සමත් වනු ඇත. මෙයම අනෙක් පසින් ගම්ලත්ට ද එක ලෙසින් අදාළය. එහෙත් ශී‍්‍ර ලංකාව තුළ මේ දෙයාකාරයම සිදු වූයේ නැත.

භාරය විනිශ්චය කිරීම ස`දහා මාක්ස්වාදය තරම් දාර්ශනික විග‍්‍රහයක් මෙතෙක් ලොව පහළ වී නැත. එහෙත් මාක්ස්වාදී රූපාකාරයන්ගෙන් පෙනී සිටින ව්‍යාපාරයන්ට මාක්ස්වාදයේ වන එකී මානවවාදය හ`දුනාගත නොහැකි වීම නිර්ධන පන්ති ව්‍යාපාරය මුහුණ දී  ඇති බරපතළම ප‍්‍රායෝගික ගැටලූ  අතරින් එකකි. ගම්ලතුන්ගේ නික්ම යාම වේදනාකාරී අත්දැකීමක් වන්නේ මේ හේතුවෙනි. මානව විරෝධී ධනවාදී අර්ථ ක‍්‍රමයට එරෙහිව ගම්ලත් විසින් නිෂ්පාදනය කළ ශක්තීන් හා හැකියාවන් කොතෙක් දුරට මානුෂික ශක්තීන් පණ පොවනු පිණිස භාවිත කිරීමට සමාජ ව්‍යාපාරය සමත් නොවීම හැර දුක් වීමට කිසිදු හේතුවක් නැත.

ලක්ෂාන් මධුරංග වික්රමරත්න

Advertisements