මගේ පළමු ගුරුවර දුයිෂෙන් එතුමාය

IMG_0723මහාචාර්ය සුචරිත ගම්ලත් පිළිබඳව මගේ ස්මරණ සටහන ලියැවෙන මේ මොහොත ශී‍්‍ර ලංකාවේ දේශපාලනය පවුල් ආධිපත්‍යයකට නතු, මිලිටරි දිශානතියකට චලනය වෙමින් පවතින අතිශය අර්බුදකාරී අවස්ථාවකි.

බෙහෙවින් ම සංකීර්ණ මෙබඳු අවස්ථාවක අප සමඟම සටන් බිම උරෙනුර ගැටී සිටිය යුතු, නිසි දැනුමෙන් සන්නද්ධ, මාක්ස්වාදී සාහිත්‍යධරයකු වන එතුමාගේ වියෝව අප සැවොම කම්පාවෙන් මුසපත් කරවයි.
70 දශකයේ මුල් භාගයේ දී එතුමාගේ ඇසුරට පත් වන විට මම විසි හැවිරිදි තරුණයෙක් වීමි. එතුමා එංගලන්තයේ සිට පෙරළා පැමිණි, පර්ජෝ 404 රථයක් හිමි විනෝදකාමී අයෙක් ලෙසය, මට හැඟී ගියේ.
නිහතමානී, සැහැල්ලූ ඇවතුම් පැවතුම් ඇති ප‍්‍රාඥයකු වූ එතුමා එපරිදි විනෝදකාමී පුද්ගලයකු වූයේ කෙසේදැයි මට නම් සිතාගන්නටවත් නොහැකිය.

එ සමයෙහි එතුමා කුමන හෝ දේශපාලන පක්ෂයක හිතෛෂියකු නොවීමත් නාට්‍ය කලාව, සාහිත්‍ය කලාව, භාෂාව ආදී විෂයයන් ගැන පමණක් සංවේදීව සිටීමත් මේ විනෝදකාමීත්වයට හේතු වන්නට ඇත. පාලි, සංස්කෘත, ඉංග‍්‍රීසි, පෙරපර දෙදිග සාහිත්‍ය, අතැඹුලක් සේ දත් එතුමා බෞද්ධ දර්ශනය පිළිබඳව ප‍්‍රාමාණික උගතෙක්ව ද අතිශය ජනප‍්‍රිය ඇදුරෙක් ලෙස ද විශ්වවිiාල ක්ෂේත‍්‍රයේ කීර්තියක් ඉසිලූ බව අවිවාදිතය.
විප්ලවවාදී කොමියුනිස්ට් සංගමයේ ග‍්‍රහණයට එතුමා නතු වූ කාලය මට නිශ්චිත නැතත් ඒ 70 දශකයේ මැද භාගය වන්නට ඇත. ට්‍රොට්ස්කිවාදය පිළිබඳව හසළ බුද්ධිමතකු වූ කීර්ති බාලසූරිය, විජේගුණසිංහ දෙපොළ සහ ධම්ම ජාගොඩ සමඟ පැවැත් වූ සන්ධ්‍යා සාකච්ඡුාවන්ට මට ද බොහෝ විට සහභාගි වන්නට සිදුවූයේ එවකට මා නැවතී සිටියේ ධම්ම ජාගොඩ නිවසේ වීම නිසාය.

එම පක්ෂයේ සංවත්සර අවස්ථාවෙක ධම්ම ජාගොඩ විසින් නිර්මිත ‘මොස්කව් හොර නඩු’, ‘ජංගි වැලේ ගීතය’ යන නාට්‍ය නිෂ්පාදනය සඳහා මම ද විවිධ කටයුතුවලින් දායක වීමි. ඒවායේ පිටපත් සඳහා අවශ්‍ය වූ දේශපාලන දර්ශනයේ දායකත්වය සැපයුවේ මහාචාර්ය තුමාය.
මේ නාට්‍ය නිෂ්පාදනය වෙනුවෙන් වූ බොහෝ සාකච්ඡුා පැවතියේ ටොරින්ටන් තට්ටු නිවාසයේ වූ ජාගොඩ මහතාගේ නිවසේය.

මහාචාර්ය ගම්ලත්, විප්ලවවාදී පක්ෂයක න්‍යායාචාර්යවරයකු වීමත් සමඟ එතුමාගේ සමීප ඇසුරේ සිටි උගතුන් සහ බුද්ධිමතුන් එතුමාගෙන් දුරස් වූ බව රහසක් නොවේ. විශේෂයෙන් මහාචාර්ය සරච්චන්ද්‍ර එසේ දුරස් වූ බව මගේ හැඟීමය. එය එසේම වූ බව ‘ගුරු ගුණ සමර’ නම් ග‍්‍රන්ථයෙහි ගම්ලතුන් ම සඳහන් කර තිබෙන බැවින් වැඩි විස්තර අවශ්‍ය නොකෙරේ.

එකල ගම්ලතුන් විසින් වර්ධනය කළ මාක්ස්වාදී විචාර ප‍්‍රවේශයට ‘දෙඤ්ඤං බැටේ විචාරය’ යැයි අපර නාමය පට බැන්දේ සරච්චන්ද්‍ර මහතා විසිනැයි බොහෝ අය පවසනු මට ඇසී ඇතත් සරච්චන්ද්‍ර මහතා එය නොපිළිගත්තේ ය.

ගම්ලතුන් හා කීර්ති බාලසූරිය එක්ව ලියූ ‘කල්පනාලෝකවාදය, සාහිත්‍ය කලා හා මාක්ස්වාදය’ මවිසින් මහාචාර්ය සරච්චන්ද්‍රයන් අත පත් කරන ලද කල්හි එය උඩින් පල්ලෙන් පෙරළා සරච්චන්ද්‍රයන් පෑ සිනාවත් පසුව එය කියවූවාදැයි විමසූ කළ එම ග‍්‍රන්ථය යළි මා අත පත් කරමින් එතුමා දුන් පිළිතුරත් මට කිසි දිනෙක අමතක නොවේ.

ගම්ලත් ඇදුරිඳු ලයනල් වෙන්ඞ්ට් කලා කේන්ද්‍රයෙහි ගුරුවරයෙක් ලෙස සේවා කළ කාලයෙහි පැවැත්වූ නාට්‍ය කලාව පිළිබඳ මූලික දේශන මාලාව පසු කලෙක ‘නාට්‍ය ප‍්‍රවේශය’ නම් ග‍්‍රන්ථය ලෙස එළි දක්වන්නට අවකාශ ලැබුණේ එම දේශන මාලාව ලඝු ලේඛනයෙන් ලියවා, යතුරු ලියනය කරවා සංරක්ෂණය කර තැබීම නිසාය. එය එවකට එහි ලේකම්වරයා වූ මගේ වගකීමක් ද විය.

එක් අවස්ථාවක, එතුමාගේ ආස්ථානය සමඟ ගැටුමකට යාමට මට සිදු විය. ‘සරච්චන්ද්‍රාභිනන්දන’ නමින් කළ දේශනය හා එනමින් වූ ග‍්‍රන්ථය නිසාවෙනි. මේ ගැටුම කරළියට පැමිණියේ ‘සරච්චන්ද්‍රාභිනන්දන’ අරභයා මවිසින් ‘විවරණ’ සඟරාවට ලියූ ‘කලාව, විචාරය සහ අවිචාරය’ නම් ලිපිය නිසාය. මේ ලිපිය පළවීමෙන් පසු විප්ලවවාදී කොමියුනිස්ට් සංගමයේ, මීගමුවේ කි‍්‍රියාකාරීන් දෙපොළක් මා හමුවට පැමිණ, ගම්ලතුන් ප‍්‍රශ්න කිරීමට ලක් කරන්නා කවුරුන්දැයි විපරම් කරන්නාක් මෙන් වාදාභිමුඛ වූහ. එය මිත‍්‍රශීලී වාදයක් විය.

ඒ එක්් අයෙක් සේපාල විජේසේකරය. ඉන් වසර බොහෝ ගණනකට පසු මා හමුවූ සේපාලයෝ තමන් විසින් ‘රාවය’ පුවත්පතට ලියූ ලිපියක් ගැන සඳහන් කරමින්, එහි පිටපතක් මට එවන බව කියමින් ගම්ලතුන් ගේ නුගුණ පැවසූහ. මම අතීත සිද්ධිය ඔහුට සිහිපත් කර දුනිමි.

මගේ එම ලිපියට ‘දිවයින’ පුවත්පත මඟින් පිළිතුරු සැපයූ ගම්ලත්හු පසුව ‘වාද ප‍්‍රතිවාද’ නමින් කළ ග‍්‍රන්ථයට ද එය එක් කළහ.

පුරා දහතුන් වසරක පමණ සමීප ඇසුරකින් පසු දේශපාලන හේතු මත නොසිතූ විරූ වේගයකින් දුරස් වුවද මම එතුමාගේ හැම පොතක්ම, හැම ලිපියක්ම නොවරදවා කියවූයෙමි. මහවැලි කේන්ද්‍රයේ පොතක් දොරට වැඩුමක දී වසර ගණනාවකට පසුව මා හමු වූ විට එතුමාගේ නෙත් පැරණි දීප්තියෙන් බබළනු මම දිටිමි.
‘‘මං හිතන්නෙ දැන් එක්ස් කණ්ඩායමේ වෙන්න ඇති.’’ එතුමා මා විමසුවේ සුපුරුදු සෝපාහාස විනෝදකාමී ස්වරයෙනි.

‘‘තවම ඒ තරමට ම බංකොලොත් වෙන්න බැරි වුණා සර්’’ මම යටහත්ව පිළිතුරු බැන්දෙමි. එතැන් හි දී මට තවත් අතීත සිද්ධියක්්ද සිහිපත් විය.ඒ මහාචාර්ය විශ්වා වර්ණපාලගේ ඡුන්ද සටනට සහය වීම වෙනුවෙන් මහාචාර්ය සරච්චන්ද්‍ර සම`ග නුවර ගිය ගමනය. මේ ගමනට නිශ්ශංක දිද්දෙණියද එක්විය. නුවර ජෝර්ජ් ඊ ද සිල්වා උයනේ පිහිටි රැුස්වීමට මහාචාර්ය සරච්චන්ද්‍ර ගොඩ කරවා අපි තේ පානය ස`දහා ඩෙවොන් ආපන ශාලාවට ඇවිද ගියෙමු. අප ඉදිරියට එමින් සිටියේ මහාචාර්ය ගම්ලත්ය.

‘‘තොපි ආවද දේශපාලන රස්තියාදුවක් ගහන්න, තොපි දේශපාලන රස්තියාදු කාරයො’’ යැයි මෘදු ස්වරයෙන් පැවසීය. අපි දෙදෙනාම සිනාසී නිහඬ වීමු.

සමාජය තුළ සරච්චන්ද්‍රයන් පිළිබඳ බහුතර කියවා ගැනීම පක්ෂ දේශපාලනයේ නොයෙදුනකු ලෙසය. එහෙත් මහාචාර්ය සුචරිත ගම්ලත් මිනිසුන් දන්නේ දේශපාලනයේ සක‍්‍රීය මිනිසකු ලෙසය. නමුත් ගම්ලතුන් අපට බැණ වැදුණේ  දේශපාලන රස්තියාදුකාරයන් කියමිනි. ඒ ධනපති පාලකයන්ට කඬේ නොගිය මිනිසකුගේ දෝෂාරෝපණයකි.

පුදුමයකි. ශාස්ත‍්‍රීය කටයුතු කෙතරම් උසස් වුවත් එතුමාගේ දේශපාලන මතවාද අරභයා කොතෙකුත් වාද විවාද පැවතියේ ය. යුද්ධය සහ දෙමළ ජනතාව කෙරෙහි එතුමාගේ දේශපාලන ආස්ථානයන් සමඟ මගේ අදහස් සමපාත නොවීම අප දුරස් කරවීය. ශාස්ත‍්‍රීය දැනුමෙන් එතුමා කුමාරස්ස්වාමී කෙනෙකි. පරණවිතාන කෙනෙකි. අදීන චින්තකයෙකි. තමන්ගේ දේශපාලන මතවාද හේතුවෙන් සියලූ රැුකියාවලින් පහ කරනු ලැබූවත් නොසැලී සිටියෙකි. ඒ වෙනුවෙන් ගැරහුම් මිස අන් යමක් නොලද්දේ එතුමා පමණ ද?

නාට්‍ය කලාව, සාහිත්‍ය, භාෂා පරිහරණය ආදී බොහෝ දෑ ගැන මගේ පළමු ගුරුවර, දුයිෂෙන් එතුමාය. එතුමාගේ ආභාසය, ලද ශික්ෂණය, මගේ ජීවිතය ආලෝකවත් කළ බව ගුරු බැතියෙන් සඳහන් කිරීම අගනේය.

අවසන ලියෝන් ට්‍රොට්ස්කි, ලියෝ තෝල්ස්තෝයි පිළිබඳව ලියූවක් මගේ ගුරුවරයාට ආදේශ කරමින් මගේ ආචාරය එතුමන්ට පුදමි. එතුමන් විසින්ම පළමුවරට පරිවර්තිත මෙය එතුමන්ට උපහාර පිණිසම වේවා!

‘‘සුචරිත ගම්ලතුන් දැන් අප අතර නැත. දැන් ඔහු ඉතිහාසයේ පැවතී, නැති වී ගිය, වෙනත් ලෝකයකින් සම්ප‍්‍රාප්ත වූ පෙඳපාසිවලින් ගැවසී වැසී ගිය කඩතොලූ සහිත දැවැන්ත ගිරිදඹයක් ලෙස අප අභියස නැගී සිටී.’’

පේ‍්‍රමතිලක පේරුකන්ද

Advertisements