සුචරිත ගම්ලත් ගැන දේශපාලන කියැවීමක්

su_hiru_attack_04

ඒ 2003 වසරයි.
රජයත් කොටි සංවිධානයත් අතර සටන් විරාම ගිවිසුම බල පැවැත්වුණු, එහෙත් සාමය හා සංහිඳියාව තහවුරු කරන දේශපාලන විසඳුමක් ගැන බලාපොරොත්තු දිය වී යමින් තිබුණු මේ වකවානුවේ දී එවක හිරු කණ්ඩායම ඇතුළු වාම කවවල ක‍්‍රියාකාරිකයෝ වූ අපි සිංහල – දෙමළ සංස්කෘතික ක‍්‍රියාකාරිකයන් අතර අවබෝධය හා සහයෝගය පුළුල් කරගැනීමේ අදහසින් කලා උළෙලක් සංවිධානය කළෙමු. ඒ සඳහා කොළඹ, යාපනය, ත‍්‍රිකුණාමලය, මඩකලපුව, කිලිනොච්චි හා උඩරට ආදී දිවයිනේ විවිධ ප‍්‍රදේශවල දෙමළ, මුස්ලිම් කලාකරුවන් හා සංස්කෘතික ක‍්‍රියාකාරිකයන් රැුසකට ද දකුණේ සිංහල කලාකරුවන්ට ද ආරාධනා කළෙමු.
එදා දිවයින ඇතුළු පුවත්පත් කිහිපයක් හා සිහළ උරුමය එක්ව මෙම කලා උළෙල කොටි සංවිධානයේ පොංගු තමිල් වැඩසටහන ලෙස හඳුන්වමින් දැවැන්ත ප‍්‍රචාරයක් දියත් කරන ලදී.  පොංගු තමිල් වනාහි දෙමළ ජනයා තුළ ජාතික හැඟීම් පුබුදු වීම අරමුණු කරගත් වැඩසටහනක් වූ අතර සිහළ – දමිළ කලා හමුව සංවිධානය කළ අපගේ අරමුණ වූයේ එය නොව සිංහල, දෙමළ, මුස්ලිම් ජාතීන් අතර අවබෝධය පුළුල් කිරීමයි. සහෝදරත්වය ගොඩනැඟීමයි. අපි දෙමළ විමුක්ති අරගලයට ගරු කළෙමු. දෙමළ ජනයාගේ ස්වයං නිර්ණ හිමිකම හිරු කණ්ඩායම ප‍්‍රතිපත්තිමය වශයෙන් පිළිගත්තේය. එහෙත්, එවකට හිරු කණ්ඩායම පෙනී සිටියේ දෙමළ ජනයාගේ වෙන් වීම තහවුරු කිරීමට නොව, ජාතීන් අතර එක්සත්කම ගොඩනැඟීමටයි. ජනතා විමුක්ති පෙරමුණේ මූලිකත්වයෙන් ගොඩනැෙඟමින් තිබුණු සිංහල ජාතිකවාදයේ නව අවධිය ගැනත් ජාතිකවාදය, නව ලිබරල්වාදය හා සමාජවාදය ගැනත් කණ්ඩායම තුළත් වාමාංශිකයන් අතරත් යම් සංවාදයක් තිබිණි.
සිහළ – දමිළ කලා හමුව යනු පොංගු තමිල් වැඩසටහනක් යැයි ගෙන යන ලද දැවැන්ත ප‍්‍රචාරය එහි සංවිධාන කටයුතුවලට දැඩි බලපෑමක් කළේය. පසු කලෙක හිරු පුවත්පත මෙම කරුණ අරබයා දිවයින පුවත්පතට එරෙහිව පුවත්පත් පැමිණිලි කොමිසම හමුවේ පැමිණිලි කරන ලදී. විභාගය අවසානයේ දී දිවයින පුවත්පත මේ පිළිබඳ සමාව අයැද පුවත්පතේ නිවේදනයක් ද පළ කරන ලදී. එහෙත් දිවයින එසේ කළේ ජාතිවාදීන්ට අවශ්‍ය විනාශය සඳහා අවශ්‍ය පසුබිම නිර්මාණය කර දීමෙන් පසුවයි.
දකුණේ සිංහල කලාකරුවන් පමණක් නොව දෙමළ කලාකරුවන් පවා සිහළ – දමිළ කලා හමුව දෙස සැකමුසු බැල්මෙන් බලන්නට එය හේතු විය.
අවසානයේ දී සංවිධායකයන් මුහුණ දුන්නේ කලා උළෙල පවත්වන්නේ කෙසේද යන අභියෝගයටයි. ජාතිවාදීන්ගේ ප‍්‍රහාර හමුවේ බියගුල්ලන් පලා යද්දී එදා අප සමඟ සංවිධායක මණ්ඩලයේ සිටි අයෝමය ශක්තිය වූයේ මහාචාර්ය සුචරිත ගම්ලත්ය. කිසි ලෙසකත් පසු නොබෑ ඔහු, සිහළ උරුමයට සම්බන්ධ ජාතිවාදීන් පිරිසක් කලා උළෙල පැවැති නව නගර ශාලාව වට කරගෙන ගල් මුගුරුවලින් පහර දෙන විට සිටියේ වේදිකාවේය.
සිහළ – දමිළ කලා හමුව සාර්ථක වූයේ සංස්කෘතික අවබෝධය පුළුල් කිරීමෙහිලා ඉවහල් වූ වැඩසටහනක් ලෙස නොව, දෙමළ මිනිසුන්ගේ ආරක්ෂාව වෙනුවෙන් සටන් වැද සිංහලයන් ලේ හලා ගත් සංවේදී සිද්ධියක් ලෙසයි.
සිහළ – දමිළ කලා හමුව අවසන් වනතෙක්ම ගම්ලත් නොසැලී අප සමඟ සිටියේය. එහෙත් කෙටි කලකට පසු රාවය පුවත්පතට ලිපියක් ලියමින් ඔහු ජාතීන්ගේ ප‍්‍රශ්නය සම්බන්ධයෙන් හිරු කණ්ඩායමේ මතවාදය විවේචනය කළ ආකාරය මතකය. එම ලිපිය සොයා ගැනීමට බැරි වුවත් මට මතක ආකාරයට අනුව, ඔහු මතු කළ මූලික කාරණයක් වන්නේ ජාතීන්ගේ ප‍්‍රශ්නය සලකා බැලිය යුත්තේ පන්ති අරගල සන්දර්භය තුළ බවයි. මේ වකවානුව තුළ දකුණේ ක‍්‍රියාත්මක වෙමින් පැවැති තරගකාරී රැුඩිකල් වාම කණ්ඩායම් අතර මෙම කරුණ අරබයා සංවාදයක් තිබිණි. ගම්ලතුන්ට මෙම සියලූ කණ්ඩායම් සමඟ සබඳතා තිබිණි. එහෙත් ඔහු ඒ කිසිවක නිත්‍ය සාමාජිකයකු නොවීය. එසේම, ඔහු සිය නායකත්වයෙන් පක්ෂයක් හෝ කණ්ඩායමක් ගොඩනඟා ගැනීමට කිසි කලෙක උත්සාහ නොකළේය. තම ස්ථාවරයන් ආරක්ෂා කරමින් ඔහු රැුඩිකල් වාම පක්ෂ, කණ්ඩායම් හා පුද්ගලයන් සමඟ එක්ව සුබවාදී දැක්මක් සහිතව කටයුතු කළේය.
1963 දී ශාස්ත‍්‍රවේදී ප‍්‍රථම පන්තියේ සුපිරි ගෞරව සාමර්ථ්‍යයක් ලබා පසුව 1966 දී එංගලන්තයේ ලන්ඩන් විශ්වවිද්‍යාලයට ගොස් බටහිර – ඉන්දියානු දර්ශනවාද, දාර්ශනික මනෝ විද්‍යාව හා බටහිර සෞන්දර්ය විද්‍යාව හැදෑරූ සුචරිත ් චයසකදිදචයසජ්ක ෂබඩැිඑසට්එසදබ සබඑද එයැ භ්එමරු ්බා ඍදකැ දෙ ෑපදඑසදබ සබ ්රඑ යන මැයෙන් ඉදිරිපත් කළ නිබන්ධනයට ආචාර්ය උපාධිය හිමි කරගත්තේය. කොළඹ, යාපනය, රුහුණු යන විශ්වවිද්‍යාලවල ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය, මහාචාර්ය, ශාස්ත‍්‍ර පීඨාධිපති, උපකුලපති බලතල සහිත අධිපති ආදී ධුර හෙබවූ ඔහු 1979 දී දේශපාලන හේතු මත විශ්වවිද්‍යාලයෙන් නෙරපනු ලැබුවේය. දිගු කලක් විශ්වවිද්‍යාලයෙන් බැහැර කරනු ලැබ සිට යළි සේවයට බඳවා ගන්නා ලද හේ සුළු කලක් යළිත් සේවය කොට විශ‍්‍රාම ලැබුවේ ය.
ජීවිතයේ අවසාන අවධියේ දී ඔහු මුහුණ දුන් ගැඹුරුම දේශපාලනික ගැටලූව වූයේ තමන්ගේ සිතේ තිබූ කාර්ය සම්භාරයක් ඉටු කිරීම සඳහා අවස්ථාව නොලැබීමයි. එසේ වූයේ මන්ද යන්න විමසා බැලිය යුතුය.
ගම්ලත් වත්මන් සමාජවාදී සමානතා පක්ෂයේ ‘පෙරගමන්කරු’ වූ විප්ලවවාදී කොමියුනිස්ට් සංගමයේ හිටපු සාමාජිකයෙකි. මේ ඔහු පිළිබඳ සසප ක‍්‍රියාකාරික ඩබ්ලිව්.ඒ. සුනිල් 2011 දෙසැම්බර් 22 වැනිදා ලෝක සමාජවාදී වෙබ් අඩවියට කරන හැඳින්වීමකි. ‘‘ඔහු පක්ෂයේ විරුද්ධත්වය නොතකා මහාචාර්ය සරච්චන්ද්‍ර අභිනන්දනය කිරීමේ උත්සවයක දී ප‍්‍රතිගාමී එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවේ ඇමැතියකු වූ වි.ජ.මු. ලොකුබණ්ඩාර සමඟ එක වේදිකාවකට නැඟීම නිසා 1989 ජුනි මාසයේ පක්ෂයෙන් නෙරපනු ලැබූ භ‍්‍රෂ්ටයෙකි.’’ සුනිල් මේ ලිපිය ලියා තිබුණේ වසර 12කට පෙර පක්ෂයෙන් නෙරපා හරින ලද ගම්ලත් සහභාගී වූ ලංකා බැංකු සේවක සංගමය විසින් සංවිධානය කරන ලද අධ්‍යාපනික වැඩමුළුවක දී ඔහු විසින් කරන ලද ඉදිරිපත් කිරීමට පහර දීමටයි. මෙහි යෙදෙන වචන ස්ටාලින් ට්‍රොට්ස්කිව හඹා ගොස් පොරෝ පහර දී ඔහු ඝාතනය කරවූ ආකාරය සිහිගන්වයි.
සමාජවාදී සමානතා පක්ෂය මෙසේ ද සටහන් කරයි.
මුල සිට අග දක්වාම වෘත්තීය සමිති හා මාක්ස්වාදය ගැන පූච්චානම් කතාවක් කළ ගම්ලත් වෘත්තීය සමිති නායකයන් කම්කරුවන්ගේ අතපය බඳින සාමූහික ගිවිසුම් ධනපතියන් සමඟ ගහන බව හා ධනපති ක‍්‍රමය පිළිගෙන ධනපතියන් සමඟ කේවල් කිරීමේ උපකරණ ලෙස ක‍්‍රියා කරන බවත් ඒ තත්වයෙන් ගොඩ ඒම සඳහා කම්කරුවන් මාක්ස්වාදය උගත යුතු බවත් කියා සිටියේ ය.
ගෝලීයකරණය හා වර්තමාන ලෝක ධනේශ්වර අර්බුදය තුළ වෘත්තීය සමිතිවල හා සමිති නායකයන්ගේ සිදු වී තිබෙන ප‍්‍රතිගාමී පරිවර්තනය ගැන හෝ කම්කරු පන්තිය මුහුණ දී සිටින තීරණාත්මක මූලෝපායාත්මක හා ඉදිරි දර්ශනාත්මක ප‍්‍රශ්න ගැන හෝ සඳහනක්වත් කිරීමට ගම්ලත්ට නොහැකි ය. ගම්ලත් මාක්ස්වාදයට සතුරු ය. ඔහු ඒ පිළිබඳ කනින් කොනින් දන්නා දෙය යොදා ගන්නේ අවස්ථාවාදීන්ට වෙස් මුහුණු සැපයීමේ ශාස්ත‍්‍රයක් ලෙසය. මාක්ස්වාදය, ලෝක ධනවාදය පෙරළා දමා සමාජවාදය ස්ථාපිත කිරීම සඳහා කම්කරු පන්තිය බළමුළු ගැන්වීමේ විද්‍යාත්මක න්‍යාය යි. එම සටන අද දින සිදු වන්නේ කම්කරු පන්තියේ ලෝක පක්ෂය වන හතර වැනි ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුව හරහා ය. එහි ලංකා ශාඛාව සමාජවාදී සමානතා පක්ෂය යි.
ගම්ලත් කලක් සාමාජිකත්වය දැරූ සසපට අනුව ගම්ලත් මාක්ස්වාදයේ සතුරෙකි. ඔහු මාක්ස්වාදය දන්නේ නැත. ලංකාවේ සිටින මාක්ස්වාදය දන්නා එකම පිරිස සසපයි. එහෙත් ගම්ලත් එවැනි අධානග‍්‍රාහී අදහස් දැරූවකු නොවේ.
සුචරිත ගම්ලත් සිළුමිණ – රසඳුන සමඟ කළ සම්මුඛ සාකච්ඡුාවක දී කරන ‘‘බුද්ධාගම කියන්නේ අතීතයේ යුගයකට අයත්, ඒ යුගයට සේවයක් කළ ආගමක්. වර්තමානයට ඒක අදාළ නැහැනේ.’’ යන ප‍්‍රකාශය තුළ දෘෂ්ටිවාදයන් පිළිබඳ ගැඹුරු සත්‍යයක් අඩංගු වන්නේ යැයි අපි සිතමු.
තමන් අදහන ශාස්තෘන්ගේ න්‍යායික ඉදිරිපත් කිරීම්වලට යථාර්ථය රාමුගත කරන්නට උත්සාහ කරන අන්ධ භක්තිකයන්ට වඩා සුචරිත ගම්ලත් ඉදිරියෙන් සිටි බව අපේ අදහසයි. සිදත් සඟරාවේ ‘වහරනු සෙරෙන් සපයා’ යි කියමනෙන් පැවසෙන පරිදි ව්‍යාකරණය ව්‍යවහාරයෙන් උපදින්නා සේ න්‍යාය ද උපදින්නේ යථාර්ථයෙනි. වාදයෝ කම්කරු පන්තිය වෙන් කරති. සංවාද කම්කරු පන්තිය එක් කරයි.
වාදයන්ට වඩා සංවාදය සමාජයට ඵලදායී බවට සුචරිත ගම්ලතුන් හා මහාචාර්ය පියසීලි විජේගුණසිංහ අතර ඇති වූ විවාදය දෙස් දෙයි. එයින් වැඩි ඵලදායිතාවක් අත්පත් කරගත්තේ මෙය විවාදයක් ලෙස සලකා පක්ෂ භජනය කරමින් හුරේ දැමූ අයට වඩා එය සංවාදයක් ලෙස සලකා සිය ඥානය මුවහත් කරගත් අයයි.
ඒ පිළිබඳව  මහාචාර්ය පියසීලි විජේගුණසිංහ සිළුමිණ රසඳුනෙහි සිහිපත් කළේ මෙසේය. ‘‘මගේ ස්ථාවරය වුණේ කලාව යථාර්ථය ජය ගැනීමේ භාවිතයක් කියන එකයි. මිනිසා, මානව සමාජය ඇතුළු සොබාදහම ජය ගැනීම සඳහා කරන විප්ලවීය මැදිහත් වීමෙන් තමා, කලාව ඇතුළු ආධ්‍යාත්මික සංස්කෘතික උරුමය ගොඩනැෙඟන්නෙ. මහාචාර්ය ගම්ලත් ඊට එරෙහිව කියා සිටියේ කලාවෙන් යථාර්ථය ජයගන්න බැරි බවයි. එය ජයගත හැක්කේ විප්ලවයෙන් හා යථාර්ථය වෙනස් කිරීමේ භාවිතයෙන් බවත් ඔහු කියා සිටියා. ඒක අපෝහක භෞතිකවාදයට ප‍්‍රතිපක්ෂ යාන්ත‍්‍රික භෞතිකවාදී ආස්ථානයක් හැටියටයි මා දකින්නේ.’’
ගම්ලතුන් වනාහි අද්‍යතන සමාජයට වඩා ඉදිරියෙන් සිටියෙකි. සාමාජිකයාගේ ජීවිතය බද්දට ඉල්ලා සිටි විකොස නම් භාවිතාවෙන් ස්ටාලින්වාදී පෙරටුගාමී පක්ෂය ඔහු නෙරපා දැම්මේත් බුද්ධි විහීන විශ්වවිද්‍යාල පද්ධතිය ඔහු පිටමං කළේත් ඒ නිසාය. විවිධ වාමාංශික කවවලට ද ඔහු අවසානයේ දී පිටස්තරයකුම විය. කට්ටිවාදය මැද ගම්ලතුන් වැජඹුණේ කාගේවත් සාක්කුවක නොසිටි, කාටවත් සාක්කුව ද නොවූ මිනිසකු ලෙසයි. එහෙත් ඔහු අඛණ්ඩවම අරගලය අත්නොහැර සිටියේය. අපමණ ජීවන දුෂ්කරතා, මරණ තර්ජනාදිය මැද අරගල බිම හැර දමා පලා ගියේත් නැත.  සිය ජීවිතයේ අවසන් අඩ පුරාම ඔහු පොරබැදුවේ තමන්ට සමාජය වෙනුවෙන් කළ හැකි මෙහෙය ඉටු කිරීම පිණිස අවස්ථාව ලබා ගැනීම පිණිසයි. ඔහු අප හැර යන්නේ ද කළ හැකිව තිබුණු තවත් බොහෝ කාර්යයන් සිය සිත්හි හා කුසලතාවන් අවස`ග දෑත් හි සඟවාගෙනයි. ඔහුගේ ජීවිතයම පවත්නා සමාජ ක‍්‍රමයේ මෙන්ම එහිම ස්ථානගතව තිබෙන
පෙරටුගාමී පක්ෂය නම් අරගල සීමාවේත් එක් කටුක යථාර්ථයක ප‍්‍රකාශනයකි. මිනිස් සමාජයට සුවිශාල මෙහෙයක් කිරීමේ උවමනාව හා හැකියාව තිබුණු එවැනි මිනිසුන්ට සිය සේවය සඳහා අවස්ථාව ලබා දීමට නොහැකි වීම මහත් අවාසනාවකි.
එහෙත් මේ සියලූ අභියෝග මැද ගම්ලතුන් විසින් සිහළ දැයට පුදන ලද විශිෂ්ටම දායාදයක් වන්නේ ඔහු විසින් සම්පාදනය කරන ලද ඉංගිරිසි – සිංහල මහා ශබ්දකෝෂයයි. ඒ සඳහා කරන ලද දුෂ්කර ව්‍යායාමය ගැන ඔහු සිළුමිණ පුවත්පතට මෙසේ කියුවේය. ‘‘මා මේ කාර්යය ඇරඹුවේ 1985 දී. දැන් අවුරුදු විසිපහක් ගත වෙලා. ලංකාවේ හැරුණු විට මෙබඳු කර්තව්‍යයකට වසර විසිපහක් ගත විය යුතු නැහැ. බටහිර ලෝකයේ නම් වසර විසිපහක දී මෙවැනි පොත් පහක් පමණ ලිවිය හැකියි. නිකම් ම මැරෙන්නේ නැතුව ලංකාවේ මෙය ලිවීමත් ඇති. මන්ද ලංකාවේ මෙවැනි කාර්යයකට කිසිම සහයෝගයක්, ආධාරයක් ලැබෙන්නේ නැහැ. ඉතා දුෂ්කර තත්වයක් යටතේයි මා මේ වැඬේට අත ගැසුවේ. නිදර්ශනයක් වශයෙන් මාව විශ්වවිද්‍යාලයෙන් රජය විසින් වසර 13 ක් නෙරපා දමනු ලැබුවා. ඒ දුෂ්කර කාලයේ මගේ මිත‍්‍රයෝ තමයි කඩදාසි, පෑන් පවා රැුගෙන දුන්නේ. වචනයක් පිටපත් කරගන්න ළමයකුට පඩි ගෙවන්න සල්ලි තිබුණේ නැහැ. ඒ කාලේ හැටියට සුළු මුදලක් වැය වුණත් එය ගෙවාගන්න බැරි වුණා.’’
සිංහල – දමිළ – ඉංග‍්‍රීසි ත්‍රෛභාෂා ශබ්දකෝෂයක් සැකසීම ඔහු මහාචාර්ය කාර්තිගේසු සිවතම්බි සමඟ එක්ව මුල පුරන ලද තවත් ශාස්ත‍්‍රීය මෙහෙවරකි. අද වන විට එහි පුරෝගාමීන් දෙදෙනාම නික්ම ගොස්ය. මෙවන් අව්‍යාජ, අවංක, දක්ෂ විද්‍යාර්ථීන්ගේ වියෝගය එක් යුගයක අවසානය සනිටුහන් කරන බව මේ මොහොතේ පළ වන නාස්තිකවාදී අදහසකි. දිවියේ අවසන් අවධියේ දී මහැදුරු ගම්ලත් විසින් උර දෙන ලද ව්‍යායාමයක් වන්නේ එවැනි විද්‍යාර්ථීන් බිහි කිරීමේ ලා උපයෝගී වන විකල්ප ශාස්ත‍්‍රීය අධ්‍යයන ආයතනයක් බිහි කිරීමයි.

අජිත් පැරකුම් ජයසිංහ

Advertisements