සුචරිත ගම්ලත් කියවීම සහ ඉක්මවීම

IMG_0722බොරැල්ල මල් ශාලාවේ කොනක මහාචාර්ය සුචරිත ගම්ලත් නිසලව වැතිර සිටියේය. ඔහුගේ නිසල දේහය දෙස බැලූ අපට දක්නට ලැබුණේ ඔහුගේ සුපුරුදු මුහුණමය. එම මුහුණේ ඔහු ජීවතුන් අතර සිටි කාලයේ මෙන්ම කිසිදු ව්‍යාකූලතාවක්, සැක සංකාවක් රැුඳී නොතිබිණි. අපට පෙනුණේ නිදහස් මුහුණක්. මරණයේ දී පමණක් නොව ජීවිතයේදීත් ඔහුට මේ සමාජ අර්බුදයට හා ශිෂ්ටාචාරමය ඛේදවාචකයට ඇති විකල්පය ගැන ව්‍යාකූලතාවක් තිබුණේ නැත. ඔහු දැරූ අදහස් වැරැුදි වුව, නිවැරැුදි වුව ඔහු ස්ථිරසාර ලෙස මතවාදයක පය ගසා සිටියේ ය. මේ මහා අර්බුදයෙන් සමාජයට විමුක්තියේ මාර්ගය වැටී ඇත්තේ සමාජවාදය හරහා බව ඔහු විශ්වාස කළ අතරම එම විශ්වාසයේ නොසෙල්වෙන බව විසින් ඔහු ව්‍යාකූලත්වයෙන් මිදුණු අයකු විය. වත්මන් නව ලිබරල් ධනවාදය පිළිබඳ බොහෝ විවේචන ඉදිරිපත් කරනමුත් ඊට ඇති විකල්පය පිළිබඳ ව්‍යාකූලතාවක හා දෙගිඩියාවක ගිලී සිටින සමාජයක් හමුවේ එම ස්ථාවර බව පිළිබඳ පූර්ණ ගෞරවය මහාචාර්ය සුචරිත ගම්ලත්ට හිමි විය යුතුය. යම් අදහසක් දරාගෙන, මිය යන තුරු එම ස්ථාවරයේ නොසැලී සිටගෙන සිටීම බලවත් ආදර්ශයක් බව නිසැකය. එහෙත් එය පූර්ණ මාක්ස්වාදී ව්‍යවහාරය නොවේ. මාක්ස්වාදී ව්‍යවහාරයේ කොටසක් පමණි. මාක්ස්වාදය පවසන්නේ විප්ලවීය ව්‍යවහාරයක් පිළිබඳව වන අතර එය සමාජය වෙනස් කිරීමේ භාවිතාවකි. මහාචාර්ය ගම්ලත් විසින් දායාද කළ මතවාදී ස්ථාවරභාවයේ ආදර්ශය උකහා ගන්නා අතරම, ඔහු සමතික‍්‍රමණය කිරීමට අධිෂ්ඨාන කරගන්නා අනාගත පරම්පරාවන්, එම සීමාවන් පිළිබඳව ද මේ මොහොතේ අවධානය යොමු කළ යුතු යැයි අපි විශ්වාස කරමු.

මහාචාර්ය ගම්ලත්ගේ අභාවයත් සමඟ ශාස්ත‍්‍රීය ක්ෂේත‍්‍රයේ ඇති වූ හිස්තැන පිළිබඳව බොහෝ දෙනා පවසනු ඇසිණි. ඔහු ලංකාවේ සිටි බහුභාෂා වියතුන්ගේ අවසන් පුරුකක් නියෝජනය කරයි. සංස්කෘත වැනි පෙරදිග භාෂාවන් ද ඉංග‍්‍රීසි, ලතින් වැනි අපරදිග භාෂාවන් ද ගැඹුරෙන් හදාරා තිබූ ඔහු සිංහල භාෂාවේ ද අමතක නොවනසුලූ ප‍්‍රවීණත්වයක් දැක්වුවේය. ඔහු එම ක්ෂේත‍්‍රයට කළ සේවය වටහා ගැනීම සඳහා අවසාන කාලයේ දී නිම කරන ලද ඉංග‍්‍රීසි – සිංහල ශබ්දකෝෂය පමණක් වුව ප‍්‍රමාණවත්ය. සිය පටු අරමුණු වෙනුවෙන් නිතරම ‘සිංහල, සිංහල’ කියා දොඩවන විවිධාකාර අන්තවාදී පුස්සන් හා සිංහලයේ කපටි ආරක්ෂකයන් හට සිහිනෙන්වත් සිතිය නොහැකි වර්ධනයක් ඔහු එම ක්ෂේත‍්‍රයට අත්පත් කර දුන්නේය. එලෙස භාෂාව, සංස්කෘතිය, කලා විචාරය ආදී විවිධ විෂයන්හි දී ඔහු කළ සේවය පිළිබඳව කතා කළ හැකි බොහෝ දේ තිබේ. නමුත් සුචරිත ගම්ලත් නමැති ශාස්ත‍්‍රවන්තයාට වඩා අපට පෙනෙන්නේ එනමින් යුත් මාක්ස්වාදියා හා සටන්කාමියායි. මහාචාර්ය සුචරිත ගම්ලත්ගේ අවමඟුලේ දී කළ පළමු කතාවට සවන් දීමේ දී අපට එම සේවය පිළිබඳ බොහෝ දේ කරුණු ලෙස දැන ගන්නට ලැබිණි. මහාචාර්ය පී.බී. මීගස්කුඹුර විසින් ලිඛිතව ඉදිරිපත් කර තිබුණු එම කතාවේ තහනම් වචනය බවට පත්ව තිබුණේ සුචරිත ගම්ලත් මාක්ස්වාදියකුය යන්නය. කතාවේ එක් තැනක පමණක් ඔහු මාක්ස්වාදී පොත් සිංහල භාෂාවට පරිවර්තනය කළ බව ද ඔහුට ‘මාක්ස්වාදයේ බලපෑම’ දැනී තිබුණු බව ද සඳහන් විය. එහෙත් ඔහු ලංකාවේ සමාජයට කළ විශිෂ්ටතම ප‍්‍රතිපදානය ලෙස අප දකින්නේ මාක්ස්වාදයට හා මාක්ස්වාදී කලා විචාරයට කළ මැදිහත් වීමයි. එමෙන්ම සමාජවාදයට පක්ෂපාතීව සිටින අතර ස්ටැලින්වාදී නිලධාරිවාදය ද ඇතුළුව වමේ ව්‍යාපාරය තුළම පවතින පසුගාමීත්වයන්ට හා අගතීන්ට එරෙහිව ඔහු කළ අරගලයයි. එමෙන්ම කම්කරු පන්තිය පොහොසත් සංස්කෘතික අවකාශයකට කැඳවීම උදෙසා ඔහු දැරූ වෙහෙසයි. ශාස්ත‍්‍රීය විවරණ තුළ අමතක කර දැමෙන නමුදු ඔහුගේ මෙහෙවරෙහි සාධනීය දෑ උකහා ගැනීම සඳහා අප හැරිය යුතුව ඇත්තේ එම දිශාවටය.

ප‍්‍රායෝගිකවාදයේ, ජාතිවාදයේ හා පන්ති සහයෝගිතාවාදයේ කරවටක් ගිලී තිබූ ව්‍යාපාරයකින් දේශපාලන වශයෙන් හා සංවිධාන වශයෙන් ඛණ්ඩනය වී පෙරටුගාමී සමාජවාදී පක්ෂය පිහිටුවා ගැනීමේ දී අපව උත්තේජනය කළ වාමාංශික කතිකාවක් තිබිණි. එම වාම උත්තේජනකාරක කතිකාව නිර්මාණය කිරීමට දායක වූ තනි පුද්ගල පෞරුෂයන් පිළිබඳව සලකා බලන විට මහාචාර්ය සුචරිත ගම්ලත් මඟහැර යා නොහැකි නමකි. මාක්ස්වාදී සම්ප‍්‍රදායට අදාළව ඔහුගේ අදහස් හා අපේ අදහස් සමපාත වන අවස්ථා තිබිණි. එම අදහස් අතර පරස්පරයන් නිර්මාණය වූ අවස්ථා ද තිබිණි. ඔහු හා කළ ඇසුරේ දී ඔහුට අප ගැන විවේචන ද තිබිණි. ඇතැම් විවේචන, විවේචන ලෙස අප භාර ගැනීමට සූදානම් නැති ඒවාය. එහෙත් ඇතැම් විවේචන අපට අපවම නිරීක්ෂණය කිරීම සඳහා කැඩපතක් නිර්මාණය කළේය. ඔහු ප‍්‍රතිගාමීත්වයට, ජාතිවාදයට හා පසුගාමීත්වයට එරෙහිව කළ සටන පරම්පරා ගණනාවකගේ ජීවිත මත මුද්‍රා තැබූ ප‍්‍රබල බලපෑමක් හා තියුණු බලපෑමක් කළ සටනකි.

නමුත් මහාචාර්ය සුචරිත ගම්ලත්ගේ ජීවන භාවිතාව ධනවාදයට එරෙහි පුද්ගල කැරැුල්ලක හැඩය ගත්තා මිස විප්ලවවාදී ව්‍යාපාරයක ක‍්‍රියාකාරීත්වය සමඟ අත්වැල් බැඳගත් එකක් නොවීය. මේ කුණු වූ සමාජ ක‍්‍රමය විස්ථාපනය කර මිනිසාටත් පරිසරයටත් සමස්ත ග‍්‍රහලෝකයටත් හිතකර සමාජ ක‍්‍රමයක් ගොඩනැඟීමේ කාර්යය හුදෙකලා පුද්ගල කැරැුලිවලින් අවසානාත්මකව ජයග‍්‍රහණය කළ නොහැක. ඔහුගේ ව්‍යවහාරය, විප්ලවීය ව්‍යවහාරයකින් වෙනස් වන සීමාව ලෙස අප මීට පෙර ද සාකච්ඡුා කළේ එයයි. එකී සීමාව පිළිබඳ අපගේ විග‍්‍රහයන් කුමක් වුව ද ව්‍යාපාරයක් නොමැතිව මිනිසකුට හුදෙකලාව සිටිය හැකි උපරිම උස් මුදුනක සුචරිත ගම්ලත් සිටි බවත් ඔහු සිය ජීවිතයෙන් එය තහවුරු කළ බවත් ඔහුට සාධාරණය ඉටු කිරීම පිණිස පැවසිය යුතුය.

ක්ෂේත‍්‍රයන් ගණනාවක, විශිෂ්ට හැකියාවන් ප‍්‍රමාණයක් තිබූ ඔහු වැන්නකුගෙන් ලාංකේය සමාජයටත් වමේ ව්‍යාපාරයටත් ගත හැකිව තිබූ සේවය උකහා ගැනීමට අපි අසමත් වීමු. ඒ ගැන ලංකාවේ සෑම ප‍්‍රගතිශීලියකුටම ස්වයං විවේචනයක් තිබිය යුතුය. ඔහුගේ දායකත්වය ඒ සඳහා ලබා ගැනීමේ ක‍්‍රියාවලිය සංකීර්ණතා බහුල එකක් බවට, ඉතා දුෂ්කර එකක් බවට, ඇතැම් සීමාවන් සහිත එකක් බවට සැකයක් නැත. එහෙත් එය කළ යුතුව තිබූ, අප කිරීමට අසමත් වූ දෙයකි. එය අවංකව දැකිය යුතුය. මේ එළඹ තිබෙන්නේ මහාචාර්ය සුචරිත ගම්ලත් සතු වූ ශාස්තී‍්‍රය පරිචය, අධ්‍යාපනික ශික්ෂණය, විචාරශීලීත්වය, නොසැලෙන සටන්කාමීත්වය මෙන්ම ඇතැම් විට ‘මුරණ්ඩුකම’ ලෙස පවා වටහා ගැනීමට ඉඩ ඇති ඔහුගේ මතවාදී ස්ථාවරභාවය හා ඒ පිළිබඳ නොබිඳෙන විශ්වාසය සමාජයට වැඩි වැඩියෙන් අවශ්‍ය වූ මොහොතකි. එම මොහොතට අපට දැන් මුහුණ දීමට සිදු වනුයේ ඔහු වැන්නන් අහිමි වූ තත්වයක් යටතේය. පවතින අභියෝගය විසින් ඉල්ලා සිටිනුයේ ඔහුව ද ඉක්මවා ගිය මිනිසුන්ය. එවැනි මිනිසුන් නව පරම්පරාවන් විසින් නිර්මාණය කරනු ඇත. එහෙත් ඇතැම් ක්ෂේත‍්‍රවල ඔහු ඉක්මවා යාම අතිශය අසීරුය. ඒ සුචරිත ගම්ලත් එම ක්ෂේත‍්‍රයන්හි දී එතරම්ම විශිෂ්ටයකු වූ බැවිනි.

පුබුදු ජයගොඩ

Advertisements