පානම පවුල් 2000ක් මහ පාරට!!

paanaamaපානම ඉඩම් කොල්ලය – අක්කර 1200ක් හමුදාවට!

පවුල් 2000ක් මහ පාරට!!

ආරුගම්බේ පාලමට වම්පසින් වූ කලපු තීරයේ බටහිර අහස වැහි වලා පරදවමින් රත් පැහැ ගැන්වීමට බැස යන හිරු වෙර දරමින් සිටී. පාලම් කණුවේ ජනාධිපතිවරයාගේ කටවුට් එල්ලී තිබෙන්නේ තේරුම්ගත නොහැකි ගුප්ත බවින් යුතු අනතුරු සඟවාගෙන සිටින මහ මුහුද පසුබිම් කරගනිමිනි. එම පසුබිමේ වම්පස ආරුගම්බේ විශේෂ කාර්ය බළකා කඳවුරය. දකුණින් වෙරළට යාබදව ඉදි වන හෝටල් සංකීර්ණය ය. පානම ජනතාව මුහුණ දෙන ඉරණම එක රූප රාමුවකට කොටු කරගැනීමට කැමරාව කි‍්‍රයාත්මක කළෙමි. ..ීඔත්‍ එකෙන් බලාගෙන ඉන්නවා. අපි ඉක්මනට යමු’’.මිතුරා කියයි. කඳවුරේ කටු කම්බි වැට මායිමට පැමිණි  ීඔත්‍ සෙබළා අප වෙත අමනාප මුහුණකින් සිටී. අප මතකයට එන්නේ පානම බලා එන බස් රථය සියඹලාණ්ඩුව පසු කරන විට මහලූ මවක කියූ කතාවය.

‘‘අපිට දැන් යන්න තැනක් නෑ. එක්කො කැලේ පැනල අලින්ගෙන් මැරෙන්න  ඕන. නැත්නම් මුහුදට පැනල මැරෙන්න  ඕන. අපි හමුදාව අල්ල ගත්ත ඉඩම් පෙන්වන්නම්. හැබැයි පේන්න පොටෝ ගන්න එපා. මේ බස්වලත් එයාලගේ සිිවිල් කට්ටිය යනව.’’

පොතුවිල් නගරය පසු කරන විට ඇය කීවාය. මෙම කොල්ල කෑමට ලක්ව ඇති ඉඩම් පොතුවිල් හා පානම අතර ප‍්‍රදේශයේ වෙරළබඩ කලාපයේ පිහිටා ඇත. මෙලෙස නාවික හමුදාව, ගුවන් හමුදාව හා විශේෂ කාර්ය බළකාය ලාහුගල ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් පානම හා ශාස්ත‍්‍රවෙල ප‍්‍රදේශයේ ඉඩම් අක්කර 1220 ක් බලහත්කාරයෙන් අත්පත් කරගෙන ඇත්තේ පානම රාගම්වෙල අක්කර 265 ක් ශාස්ත‍්‍රවෙල අක්කර 115 ක් රජයේ ඉඩම් අක්කර 840 ක් වශයෙනි. මෙලෙස අත්පත් කරගෙන ඇති ඉඩම් ශාස්ත‍්‍රවෙල, උල්පස්ස හා පානම ප‍්‍රදේශයේ වගා බිම් වන අතර අනෙක් කොටස රාගම්වෙල රක්ෂිත වනාන්තරයයි. මෙම ප‍්‍රදේශ තුළ යුද්ධය වකවානුවේ දී තාවකාලික හමුදා කඳවුරු ඉදි කර තිබී ඇත. මෙම ප‍්‍රදේශයේ ඉඩම් අත්පත් කරගැනීමට හමුදාව මුලින්ම කටයුතු කරන්නේ 1998 වසරේදීය. එහි දී අක්කර පහක් විශේෂ කාර්ය බළකාය වෙන් කරගනු ලබන්නේ පුහුණු කඳවුරක් ඉදිකිරීම සඳහා බව පවසමිනි. පසුව එය ප‍්‍රමාණවත් නොවන බව පවසා ඔවුන් අක්කර 50 ක් වෙන් කරගෙන තිබේ. මෙම ප‍්‍රදේශයේ ඉඩම් අත්පත් කරගැනීමට හමුදාව පෙලඹී ඇත්තේ යුද්ධය අවසාන වීමත් සමඟය. හමුදාව ඉඩම් කොල්ල කන බවක් මතුපිටින් පෙනෙන්නට තිබුණ ද අත්පත් කරගෙන ඇති ඉඩම්වල ස්වභාවයත් ඉදිකිරීම්වල ලක්ෂණත් සලකා බැලීමේ දී පෙනෙන්නට තිබෙන්නේ හමුදාව ඉදිරියට දමා ආණ්ඩුව තම ව්‍යාපෘතියක් කි‍්‍රයාත්මක කරමින් සිටින බවය. එහි දී ඉඩම් කොල්ල කෑමට එරෙහි චෝදනා ආණ්ඩුවට නොව හමුදාවටය. එම විරෝධයේ ප‍්‍රමාණයක් ජාතික ආරක්ෂාවට ද ඉතිරි කොටස දේශද්‍රෝහීත්වයට ද හිලව් කළ හැකිය. එමෙන්ම දේශපාලකයන්ට මෙන් නොව හමුදාවට ජනතාව විරෝධය දැක්වීමේ දී ප‍්‍රතිචාරය වෙනස්ය. මෙම තත්වය තුළ විරෝධය පහසුවෙන් කළමනාකරණය කළ හැකිය. පානම ජනතාවට මෙම ආණ්ඩුව අටවා ඇති කෙමනේ දිග – පළල එසේය.

යුද වකවානුව තුළ සිටම තමන් මෙම වගා කටයුතු සිදු කළ බව පානම ජනතාව පවසයි. යුද්ධය අවසන් වී වසර දෙකක් ගතවීමත් සම`ග තම වගාබිම්වලින් පලවා හැරීම ආරම්භ වූ බවට ඔවුහු මැසිවිලි න`ගති. 2010/7/17 රාත‍්‍රියේ T 56 ආයුධවලින් සන්නද්ධව, මුහුණු ආවරණය කරගත් පිරිසක් ගෙවල් ගිනි තබමින් ගම්වැසියන්ට පහර දී පන්නාදමා තිබේ. මේ පිළිබඳව පැමිණිල්ලක් පානම පොලිසියේ තිබේ. එහෙත් මෙම ගෙවල් ගිනිබත් කිරීම පිළිබඳව හා පානම වැසියන්ට පහර දීම පිළිබඳව පොලිසිය විසින් මෙතෙක් කිසිවකු අත්අඩංගුවට ගෙන නැත. මෙම ඉඩම් අත්පත් කරගැනීම පිළිබඳව පොතුවිල් අධිකරණයේ නඩු තුනක් විභාග වෙමින් පවතී. ලාහුගල ප‍්‍රාදේශීය සභාව 2007/154/60 වශයෙන් ද ගොවියන් විසින් තම ඉඩම් පැහැර ගැනීමට එරෙහිව අංක 84/55 යටතේ ද අංක 66/20/3 යටතේ ශ්‍රේෂ්ඨාධිකරණ පැමිණිල්ලක් ද විභාග වෙමින් පවතියි. 2010/7/17 සිද්ධියට අදාළව ප‍්‍රාදේශීය සභාව පැවරූ නඩුවට අදාළව අධිකරණය ම`ගින් හමුදාව අත්පත් කරගත් ඉඩම්වල තවදුරටත් ඉදිකිරීම් නොකරන ලෙස 2013/3/19 දින තහනම් නියෝගයක් ලබා දී ඇත. එහෙත් මෙලෙස පොතුවිල් අධිකරණය ලබා දී ඇති නියෝගය මෙම ඉඩම්වල ඉදිකිරීම් සිදු කරන කිසිවකුටත් අදාළ වී නැත. එහෙත් පානම පොලිසිය විසින් ගම්වැසියන්ට සිදු කරමින් තිබෙන අකටයුතුකම් දිනෙන් දින ඉහළ යනු මිස මෙතෙක් අඩු වී නැත. නිකරුණේ අත්අඩංගුවට ගැනීම, පහර දීම හා හේතු දැක්වීමකින් තොරව රඳවා තබා ගැනීම පානම වැසියන් අද මුහුණ දෙමින් තිබෙන ඉරණමය.  රාගම්වෙල ගම්වාසීන් විසින් ඉදි කළ වාලූකාරාමය විහාරය පිහිටා ඇත්තේ ද කොල්ල කාගෙන ඇති මෙම බිම්කඩ තුළය. පානම සමුද්‍රගිරි විහාරය පිහිටා ඇත්තේ නාවික හමුදාව අත්පත් කරගත් බිම්කඩ තුළය. ශාස්ත‍්‍රවෙල විශේෂ කාර්ය බළකා කඳවුර ආශ‍්‍රිතව මනිනාග පබ්බත විහාරයේ පුරාවස්තු

රැුසක් මේ වන විටත් විනාශ වී අවසානය. මෙම ඉඩම් අත්පත් කරගැනීමේ දී නාඳුනන සන්නද්ධ පිරිසක් ගම්වාසීන්ට පහර දුන් මොහොතේ පන්සල්වල වැඩහුන් ස්වාමීන් වහන්සේලා දෙනමක් පන්නා දමා ඇත්තේ ආවාස ගෙය තුළ සිට සිවුරුවලින් එළියට ඇදගෙන එමිනි. මෙලෙස අත්පත් කරගත් භූමිය තුළ දැවැන්ත පාරිසරික හානියක් සිදු කෙරෙමින් පවතින්නේ කිසිදු වගවිභාගයකින් තොරවය.

මෙම ඉඩම් අත්පත් කරගැනීමේ දී රට තුළ තිබෙන සමස්ත නීති පද්ධතියම ආණ්ඩුව විසින් උල්ලංඝනය කර තිබේ. ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ 12.(3),14.(1)(උ) සහ (ඌ) වගන්ති උල්ලංඝනය කරමින් ජනතාවගේ ඉඩම් අත්පත් කරගැනීම්, බලහත්කාරයෙන් නීති විරෝධී ලෙස සිදු කර ඇති අතර ජනතාවට නිදහසේ සිය ජීවනෝපායන් සිදු කිරීමේ හා තම ආගමික කටයුතුවල නිරත වීමේ අයිතිය උල්ලංඝනය කර ඇත.

1940 අංක 49 දරන පුරාවිද්‍යා ආඥා පනත උල්ලංඝනය කිරීම

1980 අංක 47 දරන පාරිසරික පනතට අනුව ප‍්‍රකාශිත 1993 ජුනි 24 දින අංක 722/22 දරන ගැසට් නිවේදනයට අනුව හෙක්ටයාර එකකට වැඩි වනාන්තර ඉඩමක් එළි පෙහෙළි කර යම් සංවර්ධන ව්‍යාපෘතියක් ක‍්‍රියාත්මක කරන්නේ නම් පාරිසරික ඇගයීම් වාර්තාවක් සකස් කළ යුතුය. එයට, පරිසර අමාත්‍යාංශයේ අනුමැතිය ලබාගත යුතුය.

සංශෝධිත 2009 අංක 65 දරන වන සංරක්ෂණ ආඥා පනතේ 20 වැනි වගන්තිය උල්ලංඝනය කරමින් වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව යටතේ පාලනය වන රජයට අයත් වනාන්තර අනවසරයෙන් වෙන් කිරීම, එළි පෙහෙළි කිරීම, ස්ථිර ගොඩනැඟිලි ඉදි කිරීම, පිවිසුම් මාර්ග තැනීම වන සංරක්ෂණ පනත උල්ලංඝනය කිරීමකි.

2011 අංක 49 දරන පනතට අනුව සංශෝධිත 1981 අංක 57 දරන වෙරළ සංරක්ෂණ හා වෙරළ සම්පත් කළමනාකරණ පනතට අනුව වෙරළ සීමාව තුළ සංවර්ධන කටයුතු සිදු කිරීමට පෙර පරිසර ඇගයීම් කි‍්‍රයාවලියකට යටත්ව වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ අනුමැතිය ලබාගත යුතුය. එහෙත් ආණ්ඩුවට මෙම කිසිදු ආකාරයක නීති අණපනත් අදාළ වී නොමැත. මීට හොඳම උදාහරණය පානම වෙරළ තීරයේ 17 නප දිගට පිහිටා ඇති ස්වාභාවික වැලි වැටියේ වැලිවල ඛනිජ සංයුතිය පරීක්ෂා කොට එහි මැනුම් කටයුතු අවසාන කිරීමය. එම උවමනාව මෙතෙක් එළිදරව් වී නැතත් එම ස්ථානයේ නාවික හමුදා අනුඛණ්ඩයක් රඳවා වැලිවැටිය මැදින් බොරලූ මාර්ගයක් ඉදි කර තිබේ. සිදු වෙමින් තිබෙන විනාශයේ තරම එලෙසය.

අවට පරිසරය අඳුර විසින් වෙළා ගනිමින් තිබේ. රාගම්වෙල රක්ෂිතය අඳුරට යටත් වෙමින් සිටී. පානම මුහුද ගොළු වී ඇත. සෙමින් ඇද හැලෙන වැහි බිඳු පානම වැසියන්ගේ කඳුළු මෙන් මට දැනේ. නිහ`ඩවම  ඔවුන්ගෙන් සමුගෙන මහ මඟට බැස්සෙමි. ආරුගම්බේ පාලම අසල දී දුටු ජනාධිපතිවරයාගේ කටවුට් සහ එකී පසුබිම් දසුන යළි මගේ මතකයට නැෙඟ්.

අවසන් මොහොතේ ඔවුන් කී එක් දෙයක් මම  මෙහි සටහන් කරමි.

‘‘අපේ මුතුන් මිත්තෝ 1818 ඌව වෙල්ලස්සෙ දී සටන් කරලා පසු බැස්සේ මේ ප‍්‍රදේශයට. අපි ආයි පහු බහිනව නම් මුහුදට තමයි. ඒක හින්දා අපි පස්සට යන්නේ නෑ. ඉස්සරහට යනවා. එදා අපේ මුතුන් මිත්තන්ව පැන්නුවේ සුද්දෝ. ඒත් අද අපිව පන්නන්නේ අපිම පත් කරපු ආණ්ඩුව.’’

———————

ආරක්ෂක හේතු මත ප‍්‍රමාණයක් පවරලා තියෙනවා

එල්.ඒ. සෝමරත්න – ලාහුගල ප‍්‍රාදේශීය ලේකම්

‘‘පානමින් අක්කර එක්දහස් දෙසීයක් අරගෙන තියෙනවා කියන කතාව මං දන්නෙ නෑ. ඒ හින්දා ඒක ගැන මට මොකුත් කියන්න බෑ. දැනට අක්කර හයක් විශේෂ කාර්ය බළකායට පවරල තියෙනවා. නාවික හමුදාවටත් පැවරීම සඳහා ඔය ප‍්‍රදේශයේ මැනුම් කටයුතු සිදු කරමින් තිබෙන්නෙ. ඒ ඉඩම් ප‍්‍රමාණය කොච්චරද කියලා කියන්න තවම ඒ ගැන තීරණයක් අරගෙන නෑ. ගුවන් හමුදාව ඔය ප‍්‍රදේශයේ තාවකාලිකව නැවතිලා ඉන්නවා. මේ ඇර වෙන දෙයක් මං දන්නෙ නෑ.’’

————–

ආරක්ෂක ලේකම්තුමා දුන්නයි කියලා කියනවලූ – පානම ශ‍්‍රී චන්ද්‍රරතන නාහිමි

වෙල්ලස්ස දිගාමඩුල්ල දෙදිසාවේ අධිකරණ සංඝනායක, පානම සුරැුකීමේ සභාපති

‘‘පබ්බත පුරාණ රජමහා විහාරය තියෙන්නේ ඔය අත්පත් කරගෙන තිබෙන භූමියෙ. එතැන පුරාවිiාත්මක වටිනාකමින් යුතු ස්ථානයක් නිසාම භාවනා කුටි හදල තිබුණා එහි රැුකවරණයට. නමුත් 2010-06-04 නාවුක හමුදාවෙන් ඇවිත් මේ ඉඩම් අල්ල ගත්තා. අන්තිමට කඳවුරු බිමට අල්ලලා වැට ගැහැව්වා. මේ පිළිබඳ විමසන්න අපි ලාහුගල ප‍්‍රාදේශීය ලේකම්තුමා හම්බ වුණා. ඒ වෙලාවේ එතුමා කිව්වෙ එයා නාවුක හමුදාවෙන් ඒ ගැන ඇහුවලූ, එතකොට නාවුක හමුදාව කිව්වලූ මේ ඉඩම් එයාලට දීලා තියෙන්නෙ ආරක්ෂක ලේකම්තුමා කියලා. රාගම්වෙල තමයි ඔය වාලූකාරාමය කියන පන්සල තියෙන්නෙ. එදා රාගම්වෙල ගෙවල් ගිනි තියලා මිනිස්සු එළවන දවසෙ ස්වාමීන් වහන්සේලා දෙනමක් පන්සලෙන් එළියට ඇදගෙන ඇවිල්ලා එළවලා දැම්මෙ. මේ ගැන පානම ජනතාවත් එක්ක එකතු වෙලා උද්ඝෝෂණය කළාම මටත් දිගින් දිගටම මරණ තර්ජන ආවා. ඒ කාගෙන්ද කියලා දන්නෙ නෑ.’’

———————-

අයින්ස්ටයිනුත් මේක කිව්වා

බි‍්‍රගේඩියර් රුවන් වනිගසූරිය – හමුදා මාධ්‍ය ප‍්‍රකාශක

‘‘ඔය සිද්ධිය හමුදාවට දිගටම එන චෝදනාවක්නෙ. කොහොමත් ඉතින් ඇත්ත කියන දේ සාපේක්ෂයි. ඒක අයින්ස්ටයිනුත් කියල තියෙනවා. ඔය ප‍්‍රදේශය ජාතික ආරක්ෂාව පැත්තෙන් වැදගත් භූමියක් හැටියටයි සැලකෙන්නෙ. යුද්ධය වකවානුවේ ඉඳලම හමුදාව ඔය ප‍්‍රදේශයේ හිටියා. ගාල්ල වරායට ත‍්‍රස්ත‍්‍රවාදීන් ආවෙත් පානම ඉඳලා. යුද්ධයක් නෑ කියලා නිකං ඉන්න බෑ. උපක‍්‍රමික වශයෙන් වැදගත් බිම්වල හමුදාව රැු`දී සිටිනවා. ඉඩම් අත්පත් කරගන්නෙ ඉඩම් අමාත්‍යාංශය විසින් මිසක් අපි නෙමෙයි. මේ ප‍්‍රදේශවල ඉදිකිරීම් කරනවා තමයි. මොකද හමුදාවට ගස් යට ඉන්න බෑ.’’

———–

මාව පොලිසියෙන් අරන් ගියා – කුසුමාවතී

‘‘අපේ ඉඩම් අක්කර හතරක් තිබුණා. අපි ගොවිතැනින් තමයි ජීවත් වුණේ. ඒත් ගෙවල් ගිනි තියලා එළෙව්වට පස්සෙ අපි නෑදෑයන්ගෙ ගෙවල්වල තමයි නතර වුණේ. මාවත් දවස් දෙකක් පොලිසියෙන් අරගෙන ගියා. ගමේ පවුල් පිටින් ගෙනිහිල්ලා පොලිසියෙ තියා ගන්න තැනට අන්තිමට පත් වුණා. දුප්පත් මිනිහට තමයි අසාධාරණය. මෙහෙ මිනිස්සු ජීවත් වුණේ ගොවිතැනයි, ධීවර කර්මාන්තයයි කරලා. ඒත් වැඩි හරියක් ගොවියන්. හැමෝටම ධීවර කර්මාන්තය කරන්න බෑ. දැන් මහ පාර විතරයි.’’

———

නීතිය ක‍්‍රියාත්මක වෙන්නෙ නෑ

පී. සෝමසිරි – පානම සුරැුකීමේ ව්‍යාපාරයේ කැඳවුම්කරු

‘‘මාව මේ ඉඩම් ප‍්‍රශ්නය නිසාම සීඅයිඞී එකෙන් දෙපාරක් අරගෙන ගියා. ඇත්තටම ත‍්‍රස්තවාදීන් ඉන්න වකවානුවේ අපිට කරදර තිබුණා. හැබැයි ජීවත් වෙන්න බිමක් තිබුණා. යුද්ධෙ දිනුවට පස්සෙ තමයි ජීවත් වුණු බිම් අඟලත් උදුර ගත්තෙ. මේ අසාධාරණය කියන්න පුළුවන් හැමෝටම කිව්වා. ඒත් කෝ විස`දුමක්. මේ වෙනකොට අක්කර 1200ක් හමුදාව අල්ලගෙන, වැටවල් ගහලා, ඇතුළෙ ඉදිකිරීම් කරලත් ඉවරයි. ඔය මෙහෙ ජනතාවගේ ඉඩම්. වගා කරපු ඉඩම්. කවුද මේවට උත්තර දෙන්නෙ? මුලින්ම මෙහි උද්ඝෝෂණය පවත්වපු වෙලාවේ මන්ත‍්‍රී ආනන්ද වීරසේකර කිව්වා දින තුනෙන් විස`දුම් දෙනව කියලා. දවස් තුනට අවුරුදු තුනක් ගෙවුණා. අන්තිමට ගමේ මිනිස්සුන්ට ගම නැති වුණා. ගොවිබිම නැති වුණා. හාමුදුරුවන්ට පන්සල නැති වුණා. මේ පොලිසිය කියන්නෙ ගමේ මිනිස්සුන්ට නීතිය හා සාමය රකින්න තියෙන එකක්ද කියලා මෙහෙ ආවොත් බලා ගන්න පුළුවන්. මෙම ඉදිකිරීම් නවත්තන්න කියලා පොතුවිල් උසාවිය වාරණ නියෝගයක් දාලා තියෙනවා. ඒත් කෝ නීතියක්?’’

————

ගොවිතැන විනාශ කළා – කුසුමාවතී

‘‘මම අවුරුදු විසිපහක් රාගම්වෙල ගමේ පදිංචි වෙලා හිටියා. මට ඉඩම් අක්කර පහක් තිබුණා. ඒකෙ අපි හැම බෝගයක්ම වගා කෙරුවා. ඒ ඉඩමෙ පොල් ගස් විතරක් හතළිස් හතක් වවලා තිබුණා. කොස්, දෙල්, කව්පි, ඉරිඟු, මඤ්ඤොක්කා ඔය හැම දෙයක්ම වගා කරල තිබුණා. මූණවල් බැඳගෙන ඇවිල්ලා ? ගෙවල් ගිනි තියලා ගහලා එළෙව්වා. ඉතින් ඒ වගේ දේවල් කළේ ඇයි? ගෙවල්වලට ගිනි තිබ්බා. අපේ මුළු සේසතම දාලා පිච්චිලා ගියා. අපිට වන්දියක් දෙනවා කිව්ව නම් හම්බ කරපු දේවල්වත් ඉතුරු වෙනවා නේද?’’

——–

ගෙවල් ගිනි තියල එළෙව්වා – එස්. සිරිපාල

‘‘අපි රාගම්වෙලට ආවේ 1972. එදා ඉඳලා 86 වෙනකල්ම කරදරයක් තිබුණෙ නෑ. 86 න් පස්සෙ තමයි ත‍්‍රස්තවාදීන්ගෙන් කරදර ආවෙ. එදා අපි ආරක්ෂක ස්ථානවලට ගිහිල්ලා 2000 දි විතර නැවත ඉඩම් වවන්න පටන් ගත්තා. 2005 විතර වෙනකොට තමයි අපිට ටිකෙන් ටික බලපෑම් ආවෙ. එස්.ටී.එෆ් එකයි පොලිසියයි ඇවිත් දිගටම කරදර කළා. 2009 විතර වෙනකොට බලපෑම් වැඩි වුණා. මාසෙකට දෙතුන් ගමනක් හැමෝම පොලිසියට ගෙනිහිල්ලා රිමාන්ඞ් කළා. වැරදි මොනවද කියලා දන්නෙත් නෑ. ඔය අතරෙදි තමයි 2009-11-20 ඉඩම් ඇමැති විමලවීර දිසානායක හම්බ වුණේ. එයා කිව්වා මට  ඕවට මැදිහත් වෙන්න බෑ, ප‍්‍රාදේශීය ලේකම් හම්බ වෙන්න ලියුමක් දෙන්නම් කියලා. ඒත් 2010 ජූලි 17 අපේ ගෙවල් ගිනි තියලා එළෙව්වා.’’

ධනූ රාමවික‍්‍රම