සිංහරාජය දෙබෑ කරන ව්‍යසනය යළි ඇරඹේ!


Printසිංහරාජ සංරක්ෂිත වනාන්තරය දෙබෑ කරමින් 2011 වසරේ දී ආරම්භ කර නවතා දැමූ මාර්ගය ඉදිකිරීම යළිත් ආරම්භ කර තිබේ. පරිසරවේදීන්ගේ හා මහජන විරෝධය හමුවේ තාවකාලිකව නවතා දැමූ මෙම මාර්ගය ඉදිකිරීම යළිත් හොර රහසේම ආරම්භ කිරීමට බලධාරීන් කටයුතු යොදා ඇති බව අනාවරණය වේ. මේ වන විට සිංහරාජයට අයත් විශාල ශාක කපා ඉවත් කිරීමේ හා ඩෝසර් යන්ත‍්‍ර යොදා වන වැස්ම එළි පෙහෙළි කිරීමේ කටයුතු ආරම්භ කර ඇති අතර එමඟින් දැඩි විනාශයක් සිදු විය හැකි බව පරිසරවේදීහු අවධාරණය කරති.

සිංහරාජ ලෝක උරුම සංරක්ෂිත වනාන්තරය හරහා සූරියකන්ද සිට ඉඹුලකන්ද දක්වා මෙම නව මාර්ගය ඉදිකිරීමට යෝජිත විය. මෙම මාර්ගය මඟින් සිංහරාජයට සිදු විය හැකි විනාශය පිළිබඳව පරිසරවේදීන් 2011 වසරේ දී දිගින් දිගටම කරුණු දැක්වීමේ ප‍්‍රතිඵලයක් ලෙස එම ඉදිකිරීම් හකුළා ගැනීමට බලධාරීන් විසින් කටයුතු කරන ලදී. එවකට පරිසර ඇමැතිවරයාව සිටි අනුර ප‍්‍රියදර්ශන යාපාගේ මැදිහත් වීමෙන් පත් කෙරුණු කමිටුවක් මඟින් ගත් තීරණයක් මත මාර්ගය ඉදිකිරීම නවතා දැමුණි. මෙම ඉදිකිරීම සිදු වුවහොත් ඇති වන පරිසර විනාශය පිළිබඳව කරුණු අනාවරණය කිරීමත් සමඟ යුනෙස්කෝ සංවිධානය ද තම දැඩි අවධානය යොමු කර තිබිණි. සිංහරාජ ලෝක උරුම සංරක්ෂිත වනාන්තරයට යම් අගතියක් සිදු වන ආකාරයේ ක‍්‍රියාවක් සිදු වුවහොත් එය ලෝක උරුම ලැයිස්තුවෙන් ඉවත් කරන බව යුනෙස්කෝ නියෝජිතයන් විසින් ලංකාවේ ආණ්ඩුවට දැනුම් දෙන ලදී. දැන් යළිත් සිංහරාජ, හරහා ඉදි කරමින් තිබෙන මෙම විනාශකාරී මාර්ගයට අයත් වන ඉඩම්, වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට හා ඉඩම් ප‍්‍රතිසංස්කරණ කොමිසමට අයත් වේ. මෙම විනාශයෙන් ප‍්‍රතිලාභ අපේක්ෂා කළ ආණ්ඩුවේ ඇතැමුන් ප‍්‍රකාශ කළේ මෙම ඉඩම් සිංහරාජ ලෝක උරුම සංරක්ෂිත වනාන්තරයට අයත් නොවන බවය.

Sinharaja-04නමුත් 2004 වසරේ චන්ද්‍රිකා බණ්ඩාරනායක ආණ්ඩු සමයේ ඉදිරිපත් කෙරුණු PS/CS/26/2004 අංක හා 2004/07/22 දිනැති කැබිනට් පත‍්‍රිකාව මෙහි දී අපගේ අවධානයට යොමු වේ. එමඟින් සිදු වූයේ ඉඩම් ප‍්‍රතිසංස්කරණ කොමිසමට අයත් සිංහරාජය අවට කිලෝමීටර පහක් දුර සීමාව ඇතුළත ඇති සියලූ අවශේෂ වනාන්තර සිංහරාජ සංරක්ෂිත වනාන්තරයට ඇතුළත් කිරීමට කැබිනට් අනුමැතිය ලබා දීමයි. එසේ කරනු ලැබුවේ ඉඩම් ප‍්‍රතිසංස්කරණ පනතේ 22 (1) හා 44 (A) වගන්තිවල ප‍්‍රතිපාදනයන් අනුවය. නමුත් මේ දක්වා එම ඉඩම් අත්පත් කරගැනීම් සිදු කර නැත.

1988 අංක 04 දරන ලෝක උරුම වන භූමි පනත යටතේ හෙක්ටයාර 11,187ක විශාලත්වයෙන් යුතුව නම් කෙරුණු සිංහරාජ ලෝක උරුම වනාන්තරය දෙස් විදෙස් ජනතාවගේ විශේෂ අවධානයට ලක් වූ ශ‍්‍රී ලංකාවේ ඇති වනාන්තර අතරින් ප‍්‍රධානතම වනාන්තරය වෙයි. නමුත් එකී ලෝක උරුම වනයේ පැවැත්මට ඉතා විනාශකාරී ලෙස බලපාන මෙවැනි ක‍්‍රියාමාර්ග හමුවේ කිසිදු බලධාරියකු වගකීම්සහගත ලෙස හා සක‍්‍රීයව මැදිහත් නොවීමෙන් මෙරට වනාන්තර සංරක්ෂණයට වඩා වෙනත් වාසි සෙවීම ඔවුන්ගේ අරමුණ බව ඔප්පු වේ.

ඉතා සංවේදී හා අතිශය පුළුල් ජෛව විවිධත්වයක් සහිත සිංහරාජය වැනි තෙත් සදාහරිත වර්ෂා වනාන්තර ලෝකයේමත් ඉතා දුර්ලභය. එවැනි වනාන්තරවල අගය ඉතා වැඩියෙන් දැනෙමින් පවතින මෙවැනි වකවානුවල දී පවා අඥාන දේශපාළුවන්ට තම පටු අරමුණු ඉටු කරගැනීම මිස මෙවැනි ලෝක උරුමයන් පිළිබඳව අවධානය යොමු කළ නොහැකි වීම කනගාටුවට කරුණකි.

ආගන්තුක ආක‍්‍රමණශීලී ශාක හා සත්ව විශේෂ ව්‍යාප්ත වීම, වනජීවීන් මාර්ග අනතුරුවලට ලක්ව මිය යෑම, රථවාහන දුම් – ආලෝකය හා ශබ්දය මඟින් වනජීවීන්ගේ හා ශාකවල පැවැත්මට බලපෑම් එල්ල වීම වැනි දැඩි බලපෑම් මෙවැනි විනාශකාරී ව්‍යාපෘති හරහා වනාන්තරවලට එල්ල වේ. තව ද මෙවැනි අදූරදර්ශී ව්‍යාපෘති නිසා හුදෙකලා වන වනාන්තර කොටස් ඉදිරියේ දී මිනිසුන් විසින් අත්පත් කරගැනීමට ඇති නැඹුරුව වැඩි වීම ද මෙමඟින් ඇති වන තවත් විනාශකාරී බලපෑමකි.

එබැවින් බලධාරීන් විසින් මේ මොහොතේ සිදු කළ යුතු වන්නේ සිංහරාජය මෙන්ම කන්නෙලිය, නකල්ස්, ශ‍්‍රී පාදය වැනි අනෙකුත් වනාන්තර ද පැහැදිලි මායිම් යොදා ආරක්ෂා කිරීමය. ඊට අමතරව එම වනාන්තරවලට මායිම්ව පවතින වනාන්තර ඉඩම් අත්පත් කරගෙන දීර්ඝකාලීන පැවැත්ම තහවුරු වන ආකාරයෙන් සංරක්ෂණය කළ යුතු බව අපි අවධාරණය කරමු.

හිරුසර තැඹිලියගොඩගේ