වැඩියෙන්ම වැරදුණේ වමට කියලත් කතාව නතර වෙන්න පුළුවන්

1ලක්ෂාන් මධුරංග වික‍්‍රමරත්න විසින් සිය දෙවැනි කාව්‍ය සංග‍්‍රහය ලෙස ‘වැඩියෙන්ම වැරදුණේ කවියන්ට’ කෘතිය එළිදැක්වූ දින මාධ්‍යවේදී විමල් කැටිපෙආරච්චි විසින් ‘70 – 80 දශකවල සිංහල කවියේ දේශපාලන රෝමාන්තිකභාවය සහ අද කවිය’ යන තේමාවෙන් කළ අදහස් දැක්වීමේ සංක්ෂිප්ත සටහනකි මේ.

වැරදීම් පිළිබඳ මිනිස් ඉරණමේ විවිධ පැති මානයන්ට අපේ ජීවිත ගොදුරු වෙමින් තිබෙන මොහොතක ලක්ෂාන් මධුරංග වික‍්‍රමරත්න කවි පොතක් එළිදක්වා තිබෙනවා. සමාජ දේශපාලනික වැරැුදීම් බොහෝ ගණනක් පෞද්ගලිකවත් සාමූහිකවත් අප අතින් සිදුවෙමින් පවතින නිමේෂයක ලක්ෂාන් මධුරංග වික‍්‍රමරත්න ‘වැඩියෙන්ම වැරදුණේ කවියන්ට’ යන නමින් කවිපොතක් එළිදක්වා තිබෙනවා.

මට තියෙන මාතෘකාව ‘70 – 80 දශකවල සිංහල කවියේ දේශපාලන රෝමාන්තිකභාවය සහ අද කවිය’ කියන එකයි. මගේ අදහසේ හැටියට ඒ මාතෘකාව කෙටි කාලයකින් කතාකර අවසන් කරන්න බැරි පුළුල් එකක් වුණත්, කිසියම් අදහසක් මතුකරන්න අවශ්‍ය ප‍්‍රවේශය ගන්නට මා උත්සාහ කරන්නම්.

මේ මාතෘකාව ගැන කල්පනා කරන විට මෙන්න මෙවැනි මූලික අදහසක් මතුවුණා. එනම්, 70-80 කියා කාලවකවානුවකට ගොනු කරන්නට කලින්, සිංහල කවි කියා වර්ගීකරණය කරන්න කලින් ‘කවි’ කියා කියන්නේමත් කොයිතරම් රෝමාන්තික ප‍්‍රකාශන විදියක්ද කියා මා සිතනවා. සමහරවිට මනුෂ්‍ය සන්නිවේදනයේ අතිශය රෝමාන්තිකම ප‍්‍රකාශන විලාසය කවි වෙන්නට පුළුවන්. ඒ නිසා මේ කතාබහ ආරම්භ කරන විටම මෙන්න මෙවැනි අදහසක් සලකුණු කර තබන්න මම කැමතියි. ඔව්! කවි කොහොමත් රෝමාන්තික තමයි.

‘70 – 80 දශකවල සිංහල දේශපාලනයේ කාව්‍යාත්මක රෝමාන්තිකභාවය’ කොහොමද? මා සිතනවා ‘70 – 80 දශකවල සිංහල කවියේ දේශපාලන රෝමාන්තිකභාවයේ’ ප‍්‍රමාණය හා ගුණය තීරණය කරනු ලැබුවේ ‘70 – 80 දශකවල සිංහල දේශපාලනයේ කාව්‍යාත්මක රෝමාන්තිකභාවය’ විසින්ය කියා.

මා කියන්නට උත්සාහ කරන්නේ මෙයයි. 70 – 80 දශකවල ලංකාවේ දේශපාලනය එහැම පිටින්ම රෝමාන්තිකයි තමයි. ඒ රෝමාන්තිකභාවය කවියට අවශෝෂණය නොවුණොත් තමා පුදුම. ඊළඟ වැදගත් කාරණාව මේකයි. මම මේ රෝමාන්තිකභාවය ගැන අවසාන විනිශ්චය අතේ තබාගෙන නෙවෙයි කතා කරන්නේ. ඒ කියන්නේ ඒ රෝමාන්තිකභාවය හොඳද නරකද ප‍්‍රාථමිකද දියුණුද වගේ කාරණාවලට මම අත තබන්නේ නැහැ. මා කියන්නේ එය එවකට යථාර්ථයක් වූ බව පමණයි. මොකද, කිසිදෙයක් වැරදියි කියල අහක දාන්න බැරි සමාජ දේශපාලන ඉරණම් ඉතිහාසයක් ඇතුලේ අප ජීවත්වන්නේ. ජනාධිපතිවරණ ප‍්‍රතිඵල වගේ දේවලූ‍ත් දින දෙසීයෙන් පරිප්පු වෑංජනයක් වෙලා අපේ කෑම මේසයට එන සන්දර්භයක් ඉදිරිපිට සංකල්පයක් ගැනවත් අවතක්සේරු කරන්නට හොඳ නැහැ.

70-80 කියන්නේ සිංහල දේශපාලනය හොඳටම රෝමාන්තික වෙලා තිබ්බ කාලවකවානුවක්. දැන් වැඩිය ඇහෙන්නේ නැති ‘විප්ලවය’ ‘අරගලය’ වගේ වචන නිතර දෙවේලේ දේශපාලන වේදිකාවේ ඇහුණු කාලයක්. දැන් වැඩිය ඇහෙන්නේ නැහැයි කියන්නත් බැහැ. ‘කුස්සියේ විප්ලවය විම්’ – ‘රෙදි සෝදන විප්ලවය රින්සෝ’ – ‘කැරපොත්තන්ට එරෙහි අරගලය – මෝටීන්’ වගේ ඒවා කොච්චර නම් ඇහෙනවද ?

මම මගේ අදහස් දැක්වීම සඳහා 70-80 වෙනුවෙන් නියෝජනය ලෙස තෝරාගන්න හිතුවේ පරාක‍්‍රම කොඩිතුවක්කු කවියා. තවත් බොහෝ කවීන් එවකට කාව්‍ය ක‍්‍රීඩාවේ යෙදුණත් පරාක‍්‍රම, දේශපාලන රෝමාන්තිකභාවයෙන් අතිශය සංකේතාත්මකයි කියා මම සිතනවා. ඒ නිසා මගේ අදහස් දැක්වීම සඳහා ඔහුත් අද කවිය වෙනුවෙන් ලක්ෂාන්වත් කැඳවන්න මම තීරණය කළා.

මම කැමතියි 1973දී පරාක‍්‍රම කොඩිතුවක්කු විසින් සම්පාදනය කරන ලද ‘අලූ‍ත් මිනිහෙක් ඇවිත්’ කවි පොතේ කවියක් මෙතැනට ගෙනෙන්න. ‘අලූ‍ත් මිනිහෙක් ඇවිත්’ ඒ කාලයේ කවි පොතකට යස අපූරු නමක්! ලක්ෂාන්ගේ කවි පොතේ නම ‘වැඩියෙන්ම වැරදුණේ කවියන්ට.’ කතන්දර දෙක මේ නම් දෙකෙමත් ගැබ්වෙලා තියෙනවා. එක නමක් අපේක්ෂාව දෝරේ ගලන්න සලස්වද්දී අනෙක් නමෙන් අපේක්ෂාභංගත්වය වෑහෙනවා. කරන්න දෙයක් නැහැ. අලූ‍ත් මිනිහෙක් ඇවිත් වගේ නමක් ලක්ෂාන්ට එන්න විදිහක් නැහැ. මේ වෙනකොට ඒ වගේ නමක්, කොළඹ දිස්ත‍්‍රික්කයේ මහ මැතිවරණ අපේක්ෂකයකුට ෂෝක් ටැග් ලයින් එකක්.

මම මුලින්ම උපුටාගන්නා පරාක‍්‍රමගේ කවිය ටිකක් දිග කවියක්. පිටු එකොළහක විතර දිවෙන කවියක්. මේ කවියේ නම, ‘ගොවිපළේ විප්ලවය’. රෝමාන්තිකභාවය මැනීමට යොදාගන්නා

ඔබේ දාර්ශනික කෝදු මේ මත තබා බලන්න.

 

”ඈත ගම් නියම්ගම්වල සිට

ඇළ දොළින් එගොඩ වී

දූවිලි පිරුණු පාරවල් ගෙව ගෙවා

නිල්පාට බස් පාරට වැටී අප එක්වුණා.

පියස්සක් නැති ලොරියේ නැඟ

තෙරපෙමින් උරෙන් උර

අත් මුවහත් කරගෙන ගියා

කැළෑවට සටනට

විදුලි කියත් මුරගායි

ඇදන් වැටෙයි මහ ගස් ගල්

පොළවට අහස පෙණුනා

ට‍්‍රැක්ටර් ඩෝසර් හඬ නඟයි

කිතු කීතු ඉර එළිය ගලා එයි

…………………..

………………..”

 

මේ පොතේ පිදුම ගැනත් මතක් කළ යුතුයි. මේ පොතේ පිදුම තියෙන්නේ මෙන්න මෙහෙමයි.

‘දේශපේ‍්‍රමී ජනතාවගේ අධිරාජ්‍ය විරෝධී අරගලයට මේ පොත ආයුධයක් වේවා!’ කියලා.

අපේ පැරණි සහෝදරයෙක් හරි ලස්සන කතාවක් කිව්වා. ඉන්දු ලංකා ගිවිසුමට විරුද්ධව පිටකොටුවේ බෝධිය ඉස්සරහ කරපු සත්‍යග‍්‍රහය වීදි සටනක් දක්වා වර්ධනය කළ විදිහ. ‘දේශපේ‍්‍රමී ජනයා සත්‍යග‍්‍රහය දක්වා මුලින් සංවිධානාත්මකව ගේනවා. ඊට පස්සේ සැලසුම ක‍්‍රියාත්මක වෙනවා. සංවිධායක සහෝදරයා ඇවිත් කියනවා, ”රායිට්. දැන් වැඬේ ප‍්‍රචණ්ඩ කරන්න.” පක්ෂේ සහෝදරයෙක් ගහනවා එතනින් ගිය බස් එකට. ඒකත් එක්ක පටන් ගන්නවා ප‍්‍රහාරය. සත්‍යග‍්‍රහය වීදි සටනක් දක්වා පරිවර්තනය වෙනවා. උතුරේ ජනයා වෙත යොමු වන්නට නියමිතව තිබුණු, සරල බලය බෙදීමට විරුද්ධව ‘දේශපේ‍්‍රමී ජනතාවගේ අධිරාජ්‍ය විරෝධී අරගලය’ ඇවිළෙනවා. කොයි තරම් රෝමාන්තිකද අරගලය. කොයි තරම් රෝමාන්තිකද සහෝදර ජනයාගේ අයිතීන් පිළිබඳ කතිකාව. අලූ‍ත් මිනිස්සු දෙගොල්ලක් එක දූපතක දෙපැත්තක සටන් කරලා පැරණි විදිහටම මැරිලා ගියා. අදටත් අලූ‍ත් මිනිස්සුන්ව මෙහෙයවාපු පැරණි අදහස් ගැන කියවීමක් නැහැ.

මේ විදිහේ අලූ‍ත් මිනිස්සු කී දෙනෙක් නම් ආවද? මොකද වුණේ? අලූ‍ත් අලූ‍ත් කතා කිය කිය අලූ‍ත් මිනිස්සු ආවා. ඇවිත් ඇවිත් ගියා. සැබෑ සුනාමි එකකුත් සමාජ දේශපාලන සුනාමි පොකුරකුත් ඇවිත් ගියා. විජේවීරව ගෝනියකට දාලා බොරැුල්ල කනත්තේ ආදාහනාගාරයට වීසි කළා. ප‍්‍රභාකරන්ව ඔළුවට වෙඩි තියලා ඇඳුම් ගලවලා ලී මැස්සකට වීසි කළා. උතුරේත් දකුණේත් රෝමාන්තික දේශපාලනයේ අවසන් සංකේත දෙකම වෙළෙඳපොළ භාර දෙවිවරුන් විසින් චප්පකර දමනු ලැබුවාට පසු ලක්ෂාන්ලාගේ පරම්පරාවට – අපේ පරම්පරාවට කවි ලියන්න වෙන්නේ මොනවා ගැනද? හදවත ප‍්‍රහර්ෂයට පත්කරන සටන්කාමී විප්ලවීය වස්තු බීජ කෝ? අප ඉදිරියේ තිබෙන්නේ සියලූ‍ පරමාදර්ශ සමතලා කර දමනු ලැබූ මුඩුබිමක්. පරාක‍්‍රම කොඩිතුවක්කු තරම් ලක්ෂාන් මධුරංග වාසනාවන්ත නැහැ. මෙන්න ඔහුගේ ඉරණම.

 

” ඉතුරු වෙච්ච එකකුගෙන්

වෙන්ව ගිය එකකුට

 

දැන්

කොළඹ යන්න හිතෙන්නෙත් නෑ මචං…

ඉතුරු වෙච්ච ඔක්කොම උන් (මාත් ඇතුළු)

හරිම පිළිවෙළයි

ගල් භාගයක් බොන්නවත් එකෙක්

හොයා ගන්න නෑ මචං…

ඉතුරු වෙච්ච උන් ඔක්කොම (මාත් ඇතුළු)

හරිම විනයගරුකයි

රස්තියාදු ගහන්නෙ නෑ මචං…

දාඩිය දානවට බයේ

කම්මුලේ වළ ගොඩැලි පුරවලා

ඩියෝඩ‍්‍රන්ට් අතුල්ලනවා මෙහේ කිහිලිවල

ඔහෙත් එහෙමද?

විප්ලවවාදීන් පැමිණ

ඉන්ෂුවරන්ස් දාන හැටි කියලා දෙනවද උඹට?

එක සිද්ධියක් අරින් නෑ මචං…

කවි ලියනවා – පළ කරනවා

පොත් ගහනවා – එළි දකිනවා

සැන්විචුත් නෙස්කැෆේත් තියෙනවා

සිංහල – බෞද්ධ කලවා දෙස බලාගෙන

ටොරිංටන් එක ළ`ගින්

අපි වෙන්ව යනවා

කවුරුවත් නෑ දැන්

අපේ පස්සෙන්

බුද්ධි අංසෙටත් ඇති වෙලා

හොයාගන්න තරම් දෙයක්

නැති නිසා

උස්සන්නවත් කවුරුත්

ඉතුරු වී නැති නිසා”

 

දැන් ඔබ මොකද කියන්නේ? අප ඉදිරිපිට රෝමාන්තික අලූ‍ත් මිනිස්සු නැහැ. අප ඉදිරියේ ඉන්නේ ඉන්ෂුවරන්ස් දාන හැටි කියා දෙන විප්ලවවාදීන්. උස්සන්නවත් කව්රුත් ඉතුරුවෙලා නැහැ. සියලූ‍ පරමාදර්ශයන් අපෙන් උස්සලා ඉවරයි. ඞීල් සහ ගේම් පමණක් අවක්ෂේප වෙලා සමාජ බීකරයේ අඩියේ තැන්පත් වෙලා තියෙනවා. අපි හැමෝම අඩු වැඩි වශයෙනුත් පෞද්ගලිකව හා සාමූහිකවත් බීකරය අඩියේ තිබෙන ඞීල් සහ ගේම් තලපය ඇඟිල්ලෙන් ගෙන හොරෙන් ලෙවකනවා.

ඊළඟ උපුටා ගැනීම පරාක‍්‍රම කොඩිතුවක්කුගේ ‘පොඩි මල්ලියෙ’ පොතෙන්. මේ පොතේ පළමු මුද්‍රණය 73. ඒ කියන්නේ පළමු මුද්‍රණය 71 අරගලයෙන් අවුරුදු දෙකකට පස්සේ. දෙවැනි මුද්‍රණය 92. ජනාධිපති පේ‍්‍රමදාස මැරෙන්න අවුරුද්දකට කළින්. ඒ කියන්නේ ලංකාවේ අතිශය රෝමාන්තික දේශපාලන පත්තර ඇතිවෙච්ච යුගයේ. විමලසිරි ගම්ලත්ලා ඩලස් අලහප්පෙරුමලා පත්තර කරන කාලේ. සත්‍යවාදියකුගේ දිනපොත එහෙම නැගලා යන කාලේ. බුදු අම්මේ, තවමත් අපේ ඔළුවේ අතීතකාමී අවතාර වෙලා ඒ රෝමාන්තිකභාවය හොල්මන් කරනවා. ඒ වුණාට ඒ හොල්මන් මාකට් කරන්න බැහැ කියලා පත්තරේ ඇඞ්වටයිස් කරන කට්ටිය කියනවා. ඊට පස්සේ හිතාමතා වරද්දල ලියනවා. ලක්ෂාන්, වෙලාවකට මට හිතෙනවා වැඩියෙන්ම වැරදුණේ පත්තරකාරයන්ට කියලා.

‘පොඩි මල්ලියේ’ පොතේ ‘උදාවන ඒ දවස’ කවිය මම කියවන්නම්.

”මහත්මයා,

පැක්ටේරියෙ වැඩකරන්න බැරි තරම්ලූ

රොටි තලන රෝදය දැන්

උස්සන්නට බැරි තරම්ලූ

රෝදය උස්සන දවසට

පපුව වනේ ලූනු මිදෙයිලූ

හීන් මැණිකෙ උඹ ගැන මම කරුණු කිව්වා

වත්තේ හාමුදුරුවන්ට

බංගලාවෙ වටමේසෙදි නුඹ ගැන මං තර්ක කළා

වටමේසෙ බීරි අලින් හත්දෙනාට

හීං මැණිකෙ

නුඹේ දුක පෙනෙන්නෙ නෑ

………………..

…………………..

 

උපදින්නේ කවදාදෝ අපේ දවස හීං මැණිකෙ?

මහත්මයා, ඒ දවස උදාවන තුරු බලා සිටිමු

නෑ නංගියෙ ඒ දවස උදාවන තුරු සටන් කරමු.”

එහෙමයි කියන්නේ පරාක‍්‍රම. දැන් අපේ කාලයේ හීං මැණිකෙලා නැහැ. සජීවනීලා අප්සරාලා දමයන්තිලා විනෝදනීලා වැඩ කළේ ‘නේචර්ස් සීක‍්‍රට්’ කම්හලේ. පාලකයන් අත්තනෝමතික විදිහට ඒ සහෝදර සහෝදරියන්ව දොට්ට දැම්මට පස්සේ උද්ඝෝෂණයක් කරනවා. ඒ උද්ඝෝෂණයට එවකට තිබූ රාජපක්ෂ ආණ්ඩුවේ ආශීර්වාදය සහිතව පොලිස් ප‍්‍රහාරයක් එල්ල වෙනවා. මෙන්න ලක්ෂාන්ට, අද කවියාට ඒ අත්දැකීම මුණගැහෙන හැටි.

”ඔව්!

අපි සොයාගත්තා රහස

සොබාදහමේ රහස

මොන තරම් ක‍්‍රීම් ගෑවත්

මකන්නට බැරි රහස

කෝමාරිකා පත් යට

පතොක් කටු ඇනී ඇත

සඳුන් ගස් කඳන් වුව

කැටි ගැසුණු ලේ ගඳය

කොකුම`ගර රොන් දිගේ

ගලන්නේ සෙම් සොටුය

ඔව්!! අපි සොයාගත්තා රහස

ගෑවිච්ච ගෑවිච්ච තැන් පවා

සුදු වෙද්දී

අපි මොකද වණ වෙන්නෙ

කළු ගැහී කැත වෙන්නෙ?

කෙමිකල්ය ගලන්නේ අත් දිග

ඇස් කෙවෙනි පාරවන ඇසිඞ්මය

නිරතුරුව

ඉතින්!!! අපි සොයාගත්තා රහස

ඇඞ් එකේ නංගි සේ සුදු වෙන්න

ඇවැසි තැන් නෙක වර්ණ ගල්වන්න

ඔබට හැක කඩෙන් මිල දී ගන්න

අපි මොකද? අපි ඉන්නෙ නිල් වෙන්න

බියුටි කල්චර් නැතිව

කචල් වී ගිය දිවිය

ෆේෂ් වොෂ් කළ නොහැක

බැටන් පොලූ ගත් අතින්

තොල් පාට කර දෙද්දි

ලස්සන වීම මොන රහසක්ද?

ඊළ`ග ඇඞ් එකෙන්

අපෙ කඳුළු හංගන්න

සොබාදහමේ රහස රැුකගන්න

හමත් ඕන නැහැ අපට

කෙසුත් ඕන නම් අරගන්න

‘ඒ දවස උදාවන තුරු සටන් කරමු’ කියල පරාක‍්‍රම කියද්දී ලක්ෂාන් එහෙම කියන්නේ නැහැ. සටන පිළිබඳ රෝමාන්තිකභාවය ලක්ෂාන් හිතාමතා අතහරිනවා. ඒ වෙනුවට ඔහු කියනවා, ‘අපි සොයාගත්තා රහස’ කියල. මොකක්ද මේ රහස? කාල්මාක්ස් සහ ෆෙඞ්රික් එංගල්ස් 1848 හෙළිදරව් කළ රහසද? එහෙමත් නැත්නම් වෘත්තීය සමිති හරහා ඞීල් දමාගෙන පක්ෂ මූලස්ථානයට ටයිල් අල්ලාගන්නා රහසද? එහෙමත් නැත්නම් වෙනත් අලූ‍ත් රහසක්ද? කොහොම නමුත් ලක්ෂාන් සටන රෝමාන්තිකභාවයේ සිට මහපොළොවට ගේනවා මෙහෙම.

‘ඊළඟ ඇඞ් එකෙන් අපෙ කඳුළු හංගන්න. සොබාදහමේ රහස රැුකගන්න. හමත් ඕන නැහැ අපට. කෙසුත් ඕන නම් අරගන්න !’

දැන් කතාව මේකයි. රෝමාන්තිකභාවය හොරු අරන් ගිය කාලයක කවිය පිනි බිංදුවක් වගේ සිසිලස ගෙනෙන්නේ නැහැ. මෙතන හරි ලස්සන දෙයක් තියෙනවා. 70-80 දශකවල කවියන් තමන්ගේම කවියෙන් මෝහනය වුණු ගතියක් තිබ්බා. ඒත් දැන් එහෙම නෙවෙයි. කවිය ලිව්වාට පස්සේ කවියා තවත් හිස් වෙනවා. මොනවාට කියා මෝහනය වෙන්නද? ඒ කාලය අපේම අපේක්ෂාවන්ගෙන්

අපිම මෝහනය වෙච්ච කාලයක්. ඇත්තටම මෝහනය වුණාට පව් නැති අපේක්ෂාවන් තිබ්බා. දැන් අපි දන්නවා සිදුවෙන්නේ මොකක්ද කියා. මොකද සමාජයක් හැටියට කීප සැරයක්ම අපේ ඔළු‍ව බිත්තියේ හැප්පුනා. හැබැයි ඔළුව බිත්තියේ හැප්පෙන්න කලින් පරාක‍්‍රමලා සතුව අර මෝහනය තිබ්බා. මම අර කලින් උපුටා දක්වපු ‘අලූ‍ත් මිනිහෙක් ඇවිත්’ පොතේ 2007 මුද්‍රණයටයි ‘පොඩි මල්ලියෙ’ 2007 මුද්‍රණයටයි පරාක‍්‍රම ලියන්නේ එකම පෙරවදනක්. ‘සුබ පැත්මකි’ යන මැයෙන් ඔහු මෙසේ ලියනවා. මේ පෙරවදන පොඞ්ඩක් අහන්න.

”හැත්තෑව දශකයේ මා ප‍්‍රබන්ධ කළ මගේ පළමු කවි ‘අලූත් මිනිහෙක් ඇවිත්’ සිව්වැනි මුද්‍රණය ඔබේ දෝතට පිරිනමන්නේ තුටු සිතින්. මෙම කවි පොත් පරපුරු දෙකක රසික කැල විසින් මහත් කුතුහලයෙන් බාර ගෙන විඳිනු ලැබූයේ මා නොසිතූ පරිද්දෙනි. අද නව පාඨක ජනයා මෙම කවි කියවන්න අවස්ථාවක් ඉල්ලා සිටින හෙයින් එම යුතුකම ඉටුකරනු උදෙසා මේවා කිසිදු සංස්කරණයකට භාජනය නොකර පළ කිරීමට සිතුවෙමි……”

ඊළඟට, පරාක‍්‍රම මෙහෙම කවියකුත් ලියනවා තමන්ගේම කවි ගැන. මේ කවිය ‘අලූත් මිනිහෙක් ඇවිත්’ පොතෙන්.

”මගේ කවිය

ඉගිල්ලෙන කුරුල්ලෙක් සමානය

කැදැල්ලෙන් පිය සලන

නිල් අහස සැරිසරන

සැඩ සුළඟ පොරබදන

………”

පරාක‍්‍රම කවියා අන්තිමට කියනවා,

 ”…. සාදර ඇරැුයුමකි

එන්න මගෙ කැදැල්ලට

බත් බුලත් මෙන් බෙදන්නෙමි

මගෙ කවිය”

හැබැයි එහෙම කවියක් ලක්ෂාන්ගේ පොතේ නැහැ. තමන්ගේම කවි ගැන තමන්ම ප‍්‍රහර්ෂයට පත්වුණු කවියක් මේ පොතේ නැහැ. ඒ කියන්නේ මේ යුගයේ කවියන්ට කවි ලියා අවසන් කර එහෙම උද්දාමයක් එහෙම අසිරිමත් හැඟීමක් ජනිත වන්නේ නැහැ. කැකෑරී කැකෑරී මේ පොළොව මත කරක්ගහල අන්තිමේ මුදාහරින දුහුවිලි සුසුම් මිස මේ යුගයේ කවි ලියැවෙන්නේ නැහැ. ඒ දුහුවිලි සුසුම් අවකාශයට මුදාහැරියා කියා ළය පිරෙන සංතෘෂ්ටියක් ලැබෙන්නේ නැහැ. නිකම් ආසාවටවත් දේශපාලනිකව රෝමාන්තික වෙන්න අපට පුළුවන්කමක් නැහැ.

සිංහල දේශපාලනය අපිව ගෙනවිත් අතහැරලා තියෙන්නේ අන්න එතැනටයි. ඉතින් මෙතැන් සිට මේ ප‍්‍රශ්නය තවදුරටත් සෞන්දර්ය ප‍්‍රශ්නයක් නොවෙයි, දේශපාලන ප‍්‍රශ්නයක්. ඒ දේශපාලන ප‍්‍රශ්නය මෙතැන් සිට විවරණය වේවි යයි මා සිතනවා. සමහරවිට ‘වැඩියෙන්ම වැරදුණේ වමට’ වගේ තැනකින් මේ කතාබහ නතර වෙන්නටත් පුළුවනි. පිට්ටනිය තවදුරටත් විවෘතයි. මගේ ක‍්‍රීඩාව අවසන්.