ජවිපෙ සම්මුතිය කා සමඟද?

jvpජනතා විමුක්ති පෙරමුණ ජූලි 22 වැනිදා සිය ප්‍රතිපත්ති ප‍්‍රකාශනය ‘හෘදසාක්ෂියේ සම්මුතිය’ නමින් එළිදක්වනු ලැබුවා. ජවිපෙ සම්මුතියක් ඇති කර ගන්නේ කා සමඟ දැයි තේරුම් ගැනීමට එම ප්‍රතිපත්ති ප‍්‍රකාශනය පමණක් වුව ප‍්‍රමාණවත්. එම ප්‍රතිපත්තිවල සම්මුතිය ඇත්තේ වැඩකරන ජනතාව ප‍්‍රමුඛ පීඩිත පන්තීන් සමඟ නෙවෙයි. දැන් ජවිපෙ සම්මුතිය ඇත්තේ ලංකාවේ දේශීය ධනේශ්වරය සමඟ, අධිරාජ්‍යවාදී ප‍්‍රාග්ධනය හා බහුජාතික සමාගම් සමඟ බව මේ ප්‍රතිපත්තිවලින් මනාව පෙනී යනවා. ඒ සමස්ත ප්‍රතිපත්ති ප‍්‍රකාශනය කෙසේවෙතත් එහි ප‍්‍රධාන අංක කිහිපයක් ගැන මෙම ලිපියෙන් අදහසක් ඉදිරිපත් කරන්න අපි අපේක්ෂා කරනවා.

රාජ්‍ය බලය

දැන් ජවිපෙ සිදු වී ඇති පීලිපැනීම හොඳින්ම දැකගත හැක්කේ වත්මන් සම්මුති ප‍්‍රකාශනය 1980දී නිකුත් කරන ලද ජවිපෙ විප්ලවීය ප්‍රතිපත්ති ප‍්‍රකාශනය සමඟ සංසන්දනය කිරීමෙන්. ඒ ප්‍රතිපත්තියට අනුව ජනතාව රාජ්‍ය බලයේ කොටස්කරුවන් වෙනවා පමණක් නොව ජනතාව රාජ්‍යයේ ක‍්‍රියාකාරීත්වයට ක‍්‍රියාකාරී ලෙස සහභාගි කර ගැනෙනවා. එහි යෝජනා කර තිබෙන රාජ්‍ය ව්‍යුහය බි‍්‍රතාන්‍යයන් විසින් ස්ථාපිත කළ වෙස්ට්මිනිස්ටර් පාර්ලිමේන්තු ක‍්‍රමයට වඩා හාත්පසින්ම වෙනස් එකක්. නමුත් සම්මුති ප‍්‍රකාශනයේ තිබෙන්නේ මොකක්ද?

  • විධායක ජනාධිපති ක‍්‍රමය මුළුමනින්ම අහෝසි කෙරේ.
  • පාර්ලිමේන්තු ආණ්ඩු ක‍්‍රමයක් ස්ථාපිත කෙරේ” (පිටුව 3)

මේ කියන්නේ 1978ට පෙර තිබුණු පාර්ලිමේන්තුව හා විධායක බලැති අගමැතිවරයාගෙන් සමන්විත කැබිනට් මණ්ඩලය සහිත ක‍්‍රමය. ජවිපෙ 1971දී කැරලි ගැහුවේ ඒ පාර්ලිමේන්තු ක‍්‍රමය වෙනුවට පහළ පන්තියේ රාජ්‍ය බලයක් ගොඩනඟන්න. නමුත් දැන් ජවිපෙ නායකයා ඒ අරගල සියල්ල අවඥාවෙන් බැහැර කළ නිසා එය ඔවුන්ට අදාළ නොවනවා වෙන්න පුළුවන්. මුදල් මත, මාධ්‍ය බලය මත, මැර බලය මත රඳා පවතින වත්මන් මැතිවරණ ක‍්‍රමය වෙනස් කිරීම ගැන එජාපයේ ප්‍රතිපත්ති ප‍්‍රකාශනයේ තරම්වත් කරුණු ජවිපෙ මැතිවරණ ප‍්‍රකාශනයේ නෑ. එජාප ප්‍රතිපත්ති ප‍්‍රකාශනයේ මැතිවරණ වියදම් සීමා කිරීමක් ගැන කියනවා. ඒත් ජවිපෙ කියන්නේ නියෝජන ක‍්‍රමය වෙනස් කිරීම ගැන පමණයි.

  • දැනට පවතින මැතිවරණ ක‍්‍රමයේ දුර්වලතා ඉවත් කරමින් රටේ සියලූ ජන කණ්ඩායම්වල කැමැත්ත මහජන ආයතන තුළ සාධාරණ ලෙස නියෝජනය වන වඩාත් නිවැරදි හා විද්‍යාත්මක නව මැතිවරණ ක‍්‍රමයක් සකස් කෙරේ.” (පිටුව 3)

මහජන නියෝජිතයන් යැයි කියන අය විශේෂ වරප‍්‍රසාද භුක්ති විඳීම වැළැක්වීම සඳහා 1980 විප්ලවීය ප්‍රතිපත්ති ප‍්‍රකාශනයේ ඇති කිසිවක් මෙවර සම්මුති ප‍්‍රකාශනයේ නෑ. එහි තිබෙන්නේ මන්ත‍්‍රීවරුන්ගේ විශ‍්‍රාම වැටුප හා වාහන බලපත‍්‍රය ගැන පමණයි. අවම වශයෙන් පැරණි ප‍්‍රතිපත්තිවල තිබෙන මන්ත‍්‍රීවරයකුගේ වැටුප පුහුණු කම්කරුවකුගේ අවම වැටුප නොඉක්මවන සේ සකස් කිරීම ගැනවත් සඳහන් වී නෑ. ජවිපෙ සම්මුතිය ගසා ඇත්තේ පාර්ලිමේන්තු ක‍්‍රමය හා එය පවත්වාගෙන යන අධිපති වරප‍්‍රසාදලාභී පන්තිය සමඟ බව මීටත් වඩා හොඳින් පැහැදිලිව පෙනෙන්නේ එය යෝජනා කර ඇති ආර්ථික ප්‍රතිපත්තිය දැක්කාම.

ආර්ථිකය හා ආයෝජන

ආර්ථිකයට අදාළව සම්මුති ප‍්‍රකාශනයේ යෝජනා කර ඇත්තේ ප‍්‍රධාන වශයෙන් මාර්ග දෙකක්. එය එම ප‍්‍රකාශනයෙන්ම උපුටා දක්වනවා නම් මෙහෙමයි.

  • රට තුළ හා ශී‍්‍ර ලංකා මුහුදු සීමාව තුළ ඇති ස්වාභාවික සම්පත් පිළිබඳව පූර්ණ සමීක්ෂණයක් සිදු කරන අතර අමුද්‍රව්‍ය අපනයනය වෙනුවට නිමි භාණ්ඩ අපනයනයට ප‍්‍රමුඛතාව දේ.
  •  නව තාක්ෂණය, කළමනාකරණය හා ප‍්‍රාග්ධනය රටේ කාර්මීකරණ වැඩපිළිවෙළට යොදා ගැනීම වෙනුවෙන් විදේශ රාජ්‍ය ආයතන හා සමාගම් සමඟ ඒකාබද්ධ වීමට කටයුතු කෙරේ.” (පිටුව 34)

වඩාත් සරලව කියනවා නම් මේ කියන්නේ ලංකාවේ ආර්ථිකයේ ප‍්‍රශ්නය විසඳිය හැකි වන්නේ ජාතික නිෂ්පාදනය හා ජාතික ධනය ඉහළ දැමීමෙන් සහ විදේශීය ආයෝජකයන් කැඳවීමෙන් බව. විදේශීය ආයෝජන පිළිබඳව එහි කිහිප තැනක සඳහන් වෙනවා. 35 වැනි පිටුවේ සඳහන් ආකාරයට ඖෂධ, වෛi උපකරණ, ඉලෙක්ට්‍රොනික් භාණ්ඩ, පරිගණක දෘඪාංග, නැව් හා වාහන එකලස් කිරීමේ ව්‍යාපාර සඳහා විශේෂ සහන ලබා දෙනවා. 57 වැනි පිටුවේ සඳහන් ආකාරයට විශේෂ තීරු බදු නිදහස් කිරීම්, බදු සහන, බැංකු ණය, ආගමන විගමන පහසුකම් ලබාදීම හරහා මේ විදේශ ආයෝජන දිරිමත් කෙරෙනවා. 34 පිටුවේ සඳහන් වන ආකාරයට තැන් තැන්වල කර්මාන්තශාලා පිහිටුවීම වෙනුවට කාර්මික කලාප, කාර්මික උiාන, කාර්මික ජනපද ආදිය ස්ථාපිත කෙරෙනවා. මෙහි දෙපැත්තක ප‍්‍රශ්න තිබෙනවා. පළමුවැන්න ලංකාවේ ආර්ථිකයේ ප‍්‍රමුඛතාව දියයුතු එකම ප‍්‍රශ්නය ජාතික ධනය වර්ධනය කිරීම නෙවෙයි. ඒ ජාතික ධනය බෙදීයාමේ අසමානතාව පිළිබඳ ප‍්‍රශ්නය, නිෂ්පාදනයට දායක වන ශ‍්‍රමිකයන්ගේ, වැඩකරන ජනතාවගේ ජීවන මට්ටම් ඉහළ නැංවීම පිළිබඳ ප‍්‍රශ්නය මේ සම්මුති ප‍්‍රකාශනයේ සාකච්ඡුා වෙන්නේ නෑ. නිකම් වාක්‍ය කිහිපයක් තිබුණාට එය මුළුමනින්ම පාහේ නොසලකා හැර තිබෙනවා.

දෙවැනි ප‍්‍රශ්නය ජවිපෙ මේ යෝජනා කරන්නේ අලූත් දෙයක් නෙවෙයි. බහුජාතික ප‍්‍රාග්ධනයට දොරගුළු විවර කිරීම වසර 40ක පමණ සිට ලංකාවේ පාලකයන් අනුගමනය කරන නවලිබරල් උපායමාර්ගයමයි. එය කිරීමට නම් හොඳම වන්නේ එක්සත් ජාතික පක්ෂය හෝ සන්ධානය මිස ඒ සඳහා ජවිපෙ බලයට පත් කළ යුත්තේ මන්ද යන්න ප‍්‍රශ්නයක්. ජවිපෙ සම්මුති ප‍්‍රකාශනයේ දැක්වෙන ‘නව තාක්ෂණය, කළමනාකරණය හා ප‍්‍රාග්ධනය’ යන සාධක චන්ද්‍රිකාගේ පාලන කාලයේ වානේ සංස්ථාවේ සිට ටෙලිකොම් ආයතනය තෙක් රාජ්‍ය ආයතන පෞද්ගලිකකරණය කිරීමට යොදාගත් සංකල්පමයි. ඇය භාවිත කළේත් මේ වචනමයි. එදා එයට එරෙහිව සටන් කළ ජවිපෙ වසර 20කට පසු ඒ වචනම උච්චාරණය කිරීම කෙතරම් උත්ප‍්‍රාසජනකද? නිදහස් වෙළෙඳ කලාප පිහිටුවීමේ ඉතිහාසයක් සහිත ලංකාවට කාර්මික කලාප අලූත් දෙයක් නෙවෙයි. සන්ධානය ජාතික භෞතික සැලැස්ම යටතේ දැනට පවතින කාර්මික කලාප 10ක් පුළුල් කර නව කාර්මික කලාප 7ක් නිර්මාණය කර ‘අපනයන සැකසුම් කලාප’ නමින් ව්‍යුහයක් යෝජනා කර තිබුණා. මෙවර එජාප මැතිවරණ ප්‍රතිපත්ති ප‍්‍රකාශනය ආර්ථික සංවර්ධන අධිකලාප 45ක් හා කර්මාන්ත – තාක්ෂණ අධිකලාප 11ක් යෝජනා කර තිබෙනවා.

ජවිපෙ යෝජනා කරන්නේත් කාලයක් තිස්සේ ජනතා විරෝධයට ලක් වූ ඒ ක‍්‍රියාමාර්ගයමයි. මේ කාර්මික කලාපවල ප‍්‍රශ්නය ඒවා ඇඟලූම් කර්මාන්තයට සීමා වීම නොවෙයි. එජාපය, සන්ධානය මෙන්ම ජවිපෙද ඉලෙක්ට්‍රොනික් භාණ්ඩ, වාහන එකලස් කිරීම ආදී කර්මාන්ත ගැන කියන්නේ සමාජය තුළ ඇඟලූම් නිෂ්පාදනය ආශ‍්‍රිත වෙළෙඳ කලාප ගැන ඇති විරෝධය දන්නා නිසා එය මඟහැර කාර්මික කලාප සාධාරණිකකරණය කරන්න. මේ ‘විදේශ ආයෝජන’ නමින් කෙරෙන පෞද්ගලිකකරණයට අධ්‍යාපනය, සෞඛ්‍ය සේවය, ප‍්‍රවාහනය වැනි අත්‍යවශ්‍ය සමාජ ආරක්ෂණ සේවා ගොදුරු වන බවට සාක්ෂි මේ සම්මුති ප‍්‍රකාශනය පුරාම දැකගන්න පුළුවන්. ජවිපෙ මේ යෝජනා කරන්නේ දශක 4ක් තිස්සේ අසාර්ථක වූ හා ජනතා විරෝධයට ලක්වූ නවලිබරල් වැඩපිළිවෙළමයි. එය සාර්ථක කරගැනීමට අසල්වැසි රටවල් සමඟ තරග කරන යෝජනාව මීළඟට සලකා බලමු.

  • ”ආයෝජන මණ්ඩලය මඟින් රට තුළට කැඳවන ආයෝජකයන් අඩු වෙමින් පවතින අතර වියට්නාමය, තායිලන්තය, මැලේසියාව සහ බංග්ලාදේශය වෙත යොමු වන ආයෝජකයන්ගේ සංඛ්‍යාව ඉහළ යමින් පවතී. ආයෝජකයන් ආකර්ෂණය කර ගැනීමේදී එම රටවල් සමඟ තරග කළ හැකි මට්ටමට ආයෝජන මණ්ඩලය ප‍්‍රතිව්‍යුහගත කොට අවුරුද්දකට රැකියා 60,000ක් පමණ අලූතින් බිහිකිරීමට කටයුතු කෙරේ.” (පිටුව 70)

ආයෝජකයන් තමන් යන රට තෝරන්නේ යාළු මිත‍්‍රකම්වලට අනුව නෙවෙයි. ප‍්‍රාග්ධනය ගමන් කරන්නේ ලාභ ශ‍්‍රමය ඇති සහ සූරාකෑමට අඩුම බාධා ඇති ප‍්‍රදේශ වෙතට. බංග්ලාදේශය පරාජය කර එයට යන ආයෝජකයන් ලංකාවට ගෙන්වා ගැනීමට නම් බංග්ලාදේශයටත් වඩා ශ‍්‍රම මිල අඩු කර එය බාල්දු කළ යුතුයි. විශේෂ කාර්මික කලාප තුළ කම්කරු නීති තවත් ලිහිල් කර කම්කරු අයිතීන් කප්පාදු කළ යුතුයි. උද්ඝෝෂණ හා අරගල නොමැතිව කාර්මික සාමය පවත්වා ගත යුතු බැවින් ඒ සඳහා මර්දනය දියත් කළ යුතුයි. මෙහි ප‍්‍රතිඵලය වන්නේ සූරාකෑම උග‍්‍රවීමත් පරිසරය විනාශ වී රතුපස්වල වැනි ගම් සියයක්, තුන්නාන වැනි ගම් දහයක්, චුන්නාකම් වැනි ගම් දසදහසක්, බෝගහගොඩ වැනි ගම් ලක්ෂයක් බිහිවීමත් පමණයි. අපූරු නවීන සමාජවාදයක්.

  • සම්මුතිය කා සමඟද?

පොදුවේ ‘හෘදසාක්ෂියේ සම්මුතිය’ නමැති ජවිපෙ වැඩපිළිවෙළ මෙතෙක් ජවිපෙ ගමන් කළ සම්මුතිකාමී දේශපාලන ගමන් මගේ ඉහළම කූටප‍්‍රාප්තිය. නිශ්චිතවම මේ තිබෙන්නේ සම්මුතියක්. ඒ සම්මුතිය ඇත්තේ වැඩ කරන ජනතාව ප‍්‍රමුඛ පීඩිත ජනතාව සමඟ නෙවෙයි. දේශීය ධනපතියන් හා බහුජාතික ජාවාරම්කරුවන් සමඟ. ජවිපෙ මෙතෙක් නමට හෝ වාමාංශික හැඩයක් පවත්වා ගත්තා නම් මේ ප‍්‍රතිපත්ති ප‍්‍රකාශනය සමඟ එයත් අතහැර දමා අවසන්. දැන් එය සන්ධානයේ හා එජාපයේ ප‍්‍රතිපත්තිය වන නවලිබරල් ධනවාදය දෙසටම ගිහින්. එජාපය වැනි පක්ෂ ‘සමාජ වෙළෙඳපොළ ආර්ථිකය’ නමිනුත් සන්ධානය ‘ජනතාවාදය’ නමිනුත් මේ නවලිබරල් ප‍්‍රතිපත්තියේ හානි අවම කරන්න උත්සාහ කරනවා. ඒත් ජවිපෙ එවැනි දෙයක් නමටවත් නොකියා, පහළ පන්තීන් මුළුමනින්ම අතහැර ඊනියා මැද පන්තියක් සමඟ සම්මුතියක් ඇති කර ගෙන තිබෙනවා. ඒ සම්මුතිය පවතින සමාජ – ආර්ථික ක‍්‍රමය වෙනස් කිරීමට දෙවරක් සන්නද්ධ අරගල සිදුකර, ලක්ෂයක් පමණ ජීවිත පරිත්‍යාග කළ ව්‍යාපාරයක හෘදසාක්ෂිය සමඟ සම්බන්ධයක් නෑ. අවම වශයෙන් එය ලිබරල් වටිනාකම් හෝ ජාතිකවාදී මතවාද විශ්වාස කරන්නන්ගේ හෘදසාක්ෂිය සමඟවත් සම්බන්ධයක් නෑ. ජවිපෙ සම්මුතිය ඇති කරගෙන තිබෙන්නේ තමන්ගේ හෘදසාක්ෂිය අත්හැරීමටයි.

මනෝජ් ප‍්‍රසන්න