ජනවාරිය උණුසුම්ය

This gallery contains 1 photo.

‘අතෘප්තිමත් ජාතියකි ඔබ දම්වැල්වලින් හා කසයෙන් යටපත්ව අයුක්තිය රජ කරයි හැම තැන පාලනය කරන විට උද්දච්ච කල්ලිය ඇත්තේ අඳූරු අගතියමය’ පළමු වැනි ඇලෙක්සැන්ඩර් සාර්ගේ පාලනයට එරෙහිව දෙසැම්බර්වාදීන්ගේ පෙළගැස්මක් පවතින යුගයේ පුෂ්කින් එසේ ලිවීය. අපේ කාලය ඊට වඩා වෙනස් යැයි ඔබ … Continue reading

Gallery | Leave a comment

ඔවුන් මිය ගොස් නැත!

24 වැනි ඉල් විරු සමරුව   ”අන් සියල්ලටම වඩා වැදගත් කරුණ නම් ලාංකේය ජනතා බලවේගය තුළ විප්ලවකාරී බලවේගයක් බිහිවී තිබීමය. සාම්ප‍්‍රදායික නායකත්වය විසින් අවමානයට, සූරාකෑමට හා අපයෝජනයට බඳුන් කරනු ලැබූ ලාංකේය දිළිඳු ජනතාව, සිය අරගලයේ බිහිසුණුභාවයෙන් සිය පීඩකයන් ද ලෝකය ද … Continue reading

Gallery | 1 Comment

නිහඬතාවයේ හඬ

Image

අඳුර මා සුමිතුර,

පැමිණියෙමි හමුවට යළිත්

නින්දේ රෝපණය වූ බීජයක්

ඇතුළු විය, මගේ මනසට

තවමත් ඇත එය….

නිහඬතාවයේ හඬ තුළ

හුදෙකලාව මා පිය මැන ගිය

අවිවේකී සිහින තුළ…

ගඩොල් බිඳී ගිය පටු වීදි තුළ

වීදි ලාම්පුවේ  රැස් දහර යට

තෙතබරිත සීතලෙන්…

බේරෙන්නට තැත් කළෙමි

රාත‍්‍රිය දෙපළු කළ නියොන් පිහි තුඩු

ඇස් තුළට කිඳා ගිය විට

ස්පර්ශ කළෙමි…

නිහඬතාවයේ හඬ

නිරුවත් එළියෙන් දුටුවෙමි

සියක් දහසක් මිනිස්සු….

සමහර විට ඊටත් වැඩියෙන්

කතා නොකර වචන දොඩති

සවන් නොදී සවන යොමති

හඬක් නොගෙන ගීත ලියති

ඒත් කිසිවකු සූදානම් නැත

අවසන් කෙරුමට…

නිහඬතාවයේ හඬ

”මුග්ධයිනි….!” මම කීවෙමි

”…නොදනිති නුඹලා,

නිහඬතාවය වැඩෙයි…

පිළිකාවක් ලෙසින්

අසන් මෙවදන, යමක් ඇත් නම්

ඉගෙන ගන්නට, නුඹලාට

මේ දෑත් අල්ලා ගන්න…

ඔබ වෙතට දිගුවන”

ඒත් මගෙ මේ වචන….

වැටෙයි නිහඬ වැහි බිඳු සේ

දෝංකාර දෙයි, නිහඬතාවයේ

ළිං පතුළ තුළ….

අඩදැණිව යාතිකා කරති මිනිස්සු

තමන්ම තැනූ නියොන් දෙවියන්ට

සංඥා දැල්වේ අන්තරායේ…

කුමක් කියැවේද එයින් ?

වක්තෘවරුන්ගෙ වදන් ලියැවෙන්නේ

උමං මාවත්වලය…

මහල් නිවැසියන්ගේ ශාලා තුළය…

මුමුණනු ලබයි ඒවා

නිහඬතාවයේ හඬ තුළ !

 ——————————————————————————–

‘පෝල් සිමොන්’ නමැති අමෙරිකානු ගායකයා සහ ගී පද රචකයා විසින් 1964 අපේ‍්‍රල් මස Sound of Silence යනුවෙන් රචනා කළ මෙම ගීතය, 1966 වසරේ අමෙරිකානු ‘ජනප‍්‍රිය’ ගීත දර්ශකයේ අංක එකේ ගීතය විය. පසුව, එම නමින් එම වසරේ පළ වූ ගී තැටියට එය ඇතුළත් විය.

Posted in කාලීන | Tagged , , | Leave a comment

ජනරළ; හමාර කීමක් නොවේ!

Image

ඒ 2011 වර්ෂයේ අවසන් කාර්තුවයි. දේශපාලන බලාධිකාරයක කෙනෙහිලිකම් මැද ලංකා ඉරිදා සංග‍්‍රහය මියැදෙමින් තිබිණි. විටෙක පුවත්පතට එරෙහිව අධිකරණ වාරණයක් ගන්නා ලදී. තවත් විටෙක පවත්නා කිසිදු නීතියකට අදාළ නොවන ලෙස මුද්‍රණාලයට පොලිසිය කඩා පැන පුවත්පත් තොග අත්අඩංගුවට ගන්නා ලදී. එමෙන්ම රාත‍්‍රියේ අලෙවි නියෝජිතයන් වෙත යොමු කරන ලද පුවත්පත් පාර්සල් සොරකම් කිරීම් වාර්තා විය. මේ අවහිරයන් මැද 2011 සැප්තැම්බර් 25 කලාපයෙන් පසු ලංකා පුවත්පත නතර වූයේ තවත් නව ආරම්භයකට ඉසිඹුවක් පමණක් ලබා දෙමිනි. නිහැ`ඩියාව පැවතියේ සති දෙකක් පමණි.

2011 ඔක්තෝබර් 9 වැනිදා පළමු ජනරළ කලාපය නිකුත් විය. එතැන් සිට වසර දෙකක් ගත විය. මේ වසර දෙක තුළ ජනරළට දැවැන්ත ව්‍යාපාරිකයන්ගේ ප‍්‍රාග්ධනයේ අනුග‍්‍රහය නොලැබිණි. පාලකයන්ගේ දේශපාලන අනුග‍්‍රහය නොලැබිණි. ඒ වෙනුවට අධිපති දේශපාලනයෙන් හා ප‍්‍රාග්ධන හිමියන්ගෙන් එල්ල වූයේ බාධාවන් පමණි. දරාගත නොහැකි මූල්‍යමය දුෂ්කරතාවන් හමුවේ ඇතැම් ජනරළ කලාප මුද්‍රණය කළ නොහැකි විය. වත්මන් පුවත්පත් ව්‍යාපාරය මුළුමනින්ම පාහේ මුදල් මත රඳා පවතින්නකි. පුවත්පත මුද්‍රණය කිරීමට, බෙදා හැරීමට, කාර්යාලයක් හා කාර්ය මණ්ඩලයක් නඩත්තු කිරීමට පමණක් නොව රට පුරා අලෙවිසල්වලින් විකිණිනු පුවත්පත් වල මුදල් එකතු කිරීමට ද මුදල් අවශ්‍ය වේ. එපමණක් නොව එම වියදම් දිනෙන් දින ඉහළ යයි. බොහෝ පුවත්පත් පවත්වා ගෙන යන්නේ පුවත්පතට ලැබෙන වෙළෙඳ දැන්වීම්වලිනි. ප‍්‍රාග්ධන හිමියන්ගේ අනුග‍්‍රහය නොලද ජනරළට ලැබෙන එකම නිශ්චිත ආදායම පාඨකයා පුවත්පත මිලදී ගන්නා විට ගෙවන මුදල පමණි. එවැනි තත්වයක් තුළ පුවත්පතක් වසර දෙකක් පවත්වාගෙන යාම ද හාස්කමක් බඳුය. එම දුෂ්කරතා හා අභියෝග හමුවේ ජනරළට තාවකාලිකව නිහඬ වන්නට සිදු වී තිබේ. මෙම කෙටි සටහන ලියැවෙනුයේ හමාර කීමක් ලෙස නොවේ. මෙය මෙතෙක් ආ ගමන් මඟ ගැන මෙන්ම නැවත ඉපදීම සඳහා වන අධිෂ්ඨානය ගැන ද කරන සමාලෝචනයකට ප‍්‍රවේශයකි.

මුලින්ම ජනරළ යනු කුමක්දැයි සාකච්ඡා කරගත යුතුය. එය ඊනියා සමබර පුවත්පත් කලාවේ කුලකයට ඇතුළත් නොවේ. ජනරළට දේශපාලනයක් තිබේ. එය පීඩාවට පත් ජනතාවට පක්ෂපාතීය. එහි දේශපාලනය පීඩිත ජනතාවගේ විමුක්තියට අදාළ දේශපාලනයයි. එහෙත් අපේ දේශපාලනය ඊනියා ජනතාවාදී නොගැඹුරු දේශපාලනයක් ද නොවේ. ඒ නිසා ජනරළ පුවත්පතේ ලියැවුණේ එහි කාර්ය මණ්ඩල සාමාජිකයන් සිය පෞද්ගලික මුදලින් වීදි දරුවන්ට ‘චිකන් කොත්තු’ මිලදී ගෙනදීම ගැන සංවේදී කතා නොවේ. අපි ධනවාදය සමඟ, එහි ආනුෂංගික ස්වරූපයන් වන අධිරාජ්‍යවාදය සමඟ, නව ලිබරල් ධනවාදය සමඟ සටන් වැදුණෙමු. අපි ජාතිවාදය සමඟ කොන්දේසි විරහිත සටනකට ප‍්‍රවේශ වුණෙමු. පසුගාමීත්වයේ සියලූ රූපාකාරයන් එම සටනේ දී අපේ ඉලක්කය විය. අවදානම මැද වුව ද ඒකාධිපතිවාදයට අපි පහර දුන්නෙමු. අප ධනවාදය, ජාතිවාදය, පසුගාමීත්වය, ප‍්‍රජාතන්ත‍්‍ර විරෝධීත්වය සමඟ සටන් වැදුණේ එම කාර්යය පුවත්පතකට කළ හැකි යැයි විශ්වාස කරන තරමට අප රොමැන්ටික්වාදීන් වූ නිසා නොවේ. මේ සියලූ අගතීන් පරාජය කළ හැක්කේ පීඩාවට පත් ජනතාවගේ පුළුල් ක‍්‍රියාකාරීත්වයක් හරහා බව අපි හොඳින්ම දනිමු. අපේ සටන අවසන් වීමට නම් සමාජය විපර්යාසකරණය විය යුතුය. පුවත්පතකට කළ හැක්කේ එකී විපර්යාසකරණය සඳහා සමාජයට සංවිධායකයාගේ, උද්ඝෝෂකයාගේ, ප‍්‍රචාරකයාගේ, ගුරුවරයාගේ, සමීප මිතුරාගේ භූමිකාව නියෝජනය කිරීම පමණි. එම භූමිකාව ඉටු කරමින්ම අප තෝරා ගත්තේ දේශපාලන විකල්පයක් පිළිබඳ මතය ගොඩනැඟීමේ, ඒ සඳහා සටන් වැදීමේ මාවතයි. එය සරල ජනතාවාදයකට වඩා අතිශය දුෂ්කර බව අපි දැන සිටියෙමු.

අප ක‍්‍රීඩා කරන පිටිය ඉතාම අවාසි සහගත කොන්දේසි යටතේ සකස් වූ පිටියකි. ජනරළ පුවත්පත ජනතාව සිතන ආකාරයට, බොහෝ අය ‘ජනමතය’ ලෙස නම් කරන දෙයට උපරිම සංවේදී විය. එහෙත් ‘ජනතාව’ යනු ස්වාභාවික ප‍්‍රපංචයක් නොවේ. ‘ජනතාව’ යනු හෝමෝ සේපියන්ස්ලා දෙදෙනකුගේ ෙසෙල එක් වීමෙන් හැදුණු යුක්තානුවල අවසන් ප‍්‍රතිඵලයක්, එනම් හුදු ජීව විiාත්මක නිෂ්පාදනයක් නොවේ. එය සමාජ විiාත්මකය. සංස්කෘතිකය. ඔය කියන ‘ජනමතය’ සකස් කරනු ලබන්නේ ආගමික ආයතන, අධ්‍යාපන ආයතන, දෛනික වතාවත් මාධ්‍ය භාවිතය ආදී දහසකුත් එකක් මෙවලම් හරහා නිෂ්පාදනය කරනු ලබන දෘෂ්ටිවාදයන් හරහාය. ‘ජනතාව’ සිතන ආකාරය තීරණය කරනු ලබන්නේ ඔවුන් විසින්ම නොවන අතර ඔවුන් වෙනුවෙන් සිතන්නට පිරිස් වැටුප් ගෙවා පත් කර ඇත. උදෑසනට අපට පුවත්පත්වල සිරස්තල පවසා පුවත්පත් කියැවීමේ ‘කරදරයෙන්’ අප මුදවන බන්දුල පද්මකුමාරගේ සිට රාත‍්‍රියට දවසේ සිදුවීම් ගැන දේශපාලන විග‍්‍රහයක් ඉදිරිපත් කර සරල සිදුවීම් ගැන ගැඹුරින් සිතීමේ  ‘කරදරයෙන්’ අප මුදවන මහින්ද අබේසුන්දර දක්වා දෘෂ්ටිවේදීන් වැටුප් ලබන්නේ ඒ කාර්යය වෙනුවෙනි. පොදු ජනයාට සිතන හැටි ඉගැන්වීම සඳහා දෘෂ්ටිවාදී කර්මාන්තයක්ම ඇත. ඒවාට කෝටි ගණනින් මුදල් පොම්ප කරන අතර ඒවායේ දහස් ගණන් ශ‍්‍රමිකයන් ශ‍්‍රමය වගුරුවයි. ඒ කර්මාන්තයට ප‍්‍රතිපක්ෂව අතේ සතයක් නැතිව, කර්තෘ මාණ්ඩලිකයන් දුසිම් බාගයක් සමඟ දෘෂ්ටිමය අවි අමෝරා ගැනීම ජනරළ දේශපාලනය විය. එනිසා පිටිය අවාසිසහගත බව පැහැදිලිය. ‘ජනරළ පෙනී සිටින්නේ ජනතාව වෙනුවෙන් නම් ජනතාව එය මිලට නොගන්නේ ඇයි’ දැයි විමසන්නන්ට අපට කීමට ඇත්තේ එයයි. අපට අවශ්‍යව ඇත්තේ ඒ ජනතාව, දැන් සිටින මුග්ධත්වයෙන් ඉහළට ඔසවා ලීමටය. නම මතක නැති කවුරුන් හෝ කියා ඇති ආකාරයට සෑම ආරම්භයක්ම දුෂ්කරය. එය ජනරළට ද සාධාරණය. අපි අවස්ථාවේ වාසිය තකා ‘ජනමතය’ට වන්දනාමාන කරන්නේ නැත. මනෝ ලෝකවල සිරකරුවන් වී ‘ජනමතය’ට පිටු පාන්නේ ද නැත. පවතින යථාර්ථය අපට වැටහේ. එය ස්වාභාවික ඉරණමක් නොවන බව ද අපි දනිමු. පවතින යථාර්ථය උඩින් පැන හුදෙකලා ගමනක යාමට අප සූදානම් ද නැත. අපේ කාර්යය පවතින යථාර්ථය, පවතින ‘ජනමතය’ වෙනස් කිරීමයි. වසර දෙකක් ජනරළ සටන් කළේ ඒ සඳහාය.

මේ සියල්ල මධ්‍යයේ ජනරළට පාඨකයකු ඇත. පුවත්පතේ අනාගතය වෙනුවෙන් පාඨකයන්ගෙන් පරිත්‍යාග ගත නොහැකි දැයි තවත් අයකු ප‍්‍රශ්න කරනු ඇත. ජනරළ වෙනුවෙන් අරමුදලක් ද තිබේ. මෙතරම් දුර හෝ ජනරළ පවත්වාගෙන ආවේ ඒ බැංකු ගිණුමට පාඨකයකුගෙන්, හිතවතකුගෙන් බැර වන මුදල ද ආධාර කර ගනිමිනි. ජනරළ පාඨකයා එදිනෙදා ජීවිතය පවා අතට ලැබෙන සොච්චමෙන් ගැටගසා ගැනීමට අසීරු කෙනෙකි. ජනරළ පාඨකයන් වනුයේ කම්කරුවන්ය. ගොවීන්ය. ධීවරයන්ය. ශිෂ්‍යයන්ය. තරුණයන්ය. ඒ අයට ලක්ෂ 200ක මුදලක් එකතු කර දෙන්නැයි කීවොත් එය කළ නොහැකි බව අපි දන්නෙමු. එනිසාම ජනරළ ලක්ෂ 100 හෝ ලක්ෂ 200 මුදල් ව්‍යාපෘති නිර්මාණය නොකළ අතර පාඨකයන්ගෙන් එවැන්නක් ඉල්ලා සිටියේ ද නැත. එවැනි අරමුදල් සම්පාදනය කළ හැකි පිරිසක් රටේ සිටී. ඇතැම් පුවත්පත් වසා නොදමා පවත්වාගෙන යන්නේ ද ඔවුන්ගේ පිහිටෙනි. එහෙත් ජනරළ, එය කියවන බහුතරයක් පාඨකයන් විසින් සිදු කරනු ලබන නිෂ්පාදනයේ අතිරික්තයෙන් යැපෙන, පරපුටු මැද පන්තියකට පක්ෂපාතීව ලියන්නේ නැත. ජනරළ ඉලක්ක කර ගන්නේ ඒ මැද පන්තියේ විසිත්ත කාමරවල ආටෝපයට තබන පුවත්පතක් වීමේ මාර්ගය නොවේ. ඒ අයට ගැළපෙන ලිබරල් සීමාවට අනුව හැමදේම විවේචනය කර, ඊළඟ සතියට මුහුණ දීමට පෙර ඉරිදාට කෝපය විරේචනය කර දී මනස සමබර කරන ඖෂධයක් වීමේ ඉලක්කයක් ජනරළට නැත. අපට අවශ්‍ය ක‍්‍රමයේ විනාශකාරීත්වය ගැන උපදින කෝපය, ඒ නිසා උපදින අතෘප්තිය, අසහනය හා ආතතිය විරේචනය කරන්නට විවේචන ගොනු කිරීමට නොවේ.

අපට විවේචනය අවශ්‍ය වන්නේ මේ විනාශකාරී සමාජ ක‍්‍රමය ගැන ගැඹුරින් සිතීමට හා එය වෙනස් කිරීමට සමාජය පෙලඹවීමටය. අපි ප‍්‍රජාතන්ත‍්‍ර විරෝධීත්වයට, පසුගාමීත්වයට හා ජාතිවාදයට එරෙහිව සටන් කරන මුත් ඒ සමාජ ප‍්‍රජාතන්ත‍්‍රවාදී සීමාවේ කොටු වෙමින් නොව ධනවාදයට එරෙහි සටන සමඟ සංයුක්තවය. එවැනි අගතීන්ට එරෙහිව ලිබරල් දෘෂ්ටියෙන් සටන් වදින අයට අපි ගරු කරමු. එවැන්නන්ට ජනරළේ පිටු හැමදාමත් විවෘත විය. එහෙත් ඒ දේශපාලනය ජනරළේ පියාගේ හෝ ගුරුවරයාගේ භූමිකාවට පණ පෙවීමට සමත් නැත. පාඨකයාගේ පෝෂණය වෙනුවෙන් සමාජ ප‍්‍රජාතන්ත‍්‍රවාදී අදහස්වලට පුවත්පතේ ඉඩ කඩ ලබා දුන්න ද හැමදාමත් ඒ ගැන අපට කුකුසක් තිබිණි. ඒ නිසා කෑම දිරවන්නට රෙජීමය විවේචනය කරන මැද පන්තියට කවදාවත් ජනරළ ගැන බැඳීමක් තිබුණේ නැත. පැවැත්ම වෙනුවෙන් ඒ අය සැනසවීම සඳහා අපේ දේශපාලනය බිලි දෙන්නට අපට උවමනා ද නැත. එබැවින් ලක්ෂ සිය ගණන්වල ජනරළ සුරැුකීමේ අරමුදල් නිර්මාණය නොවන අතර අපට නැවතත් ආයාචනය කරන්නට වන්නේ ජනරළ පාඨකයා ලබා දෙන දහඩිය වැකී තෙත් වුණ රුපියල් සියයේ, පන්සියයේ කොළවලටය. ඒ ගැන අපට කිසිදු විස්සෝපයක් නැත. ජනරළට ලක්ෂ ගණන් නොලැබෙන හේතුව සහ අපේ පාඨකයාගේ සාක්කුව අතර ඇති සම්බන්ධය අපි දන්නෙමු. ජනරළට ඇති අභිමානය ද එයයි. ජනරළ ලැබූ ජයග‍්‍රහණය කම්කරුවා, ගොවියා, ධීවරයා, ශිෂ්‍යයා, තරුණයා, රැුකියාවිරහිතයා සමඟ සජීවීව සම්බන්ධ වීමට ලද අවස්ථාවයි.

ඒ අතර අපේ පුවත්පත් කලාව ගැන ද වචනයක් කිව යුතුය. අපි ජනමාධ්‍ය ගැන විශාරදයෝ නොවෙමු. අපට ඇත්තේ පුවත්පත් කලාව ගැන උපාධි නහුතයක් නොව පීඩාවට පත් සමාජය ගැන කැක්කුමක් පමණි. ඒ නිසා ජනරළ යනු පුවත්පත් කලාවේ පරිසමාප්තිය නොවේ. උපරිමය නොවේ. ජනරළ ලෝකයේ හොඳම පත්තරය යැයි අප කියන්නේ නැත. අපට ඇත්තේ නරක ලෝකයක් තුළ හොඳම පත්තරයක් කිරීමේ අභිප‍්‍රායක් නොව නරක ලෝකය වෙනුවට හොඳ ලෝකයක් හැදීමේ අභිප‍්‍රායකි. ඒ හොඳ ලෝකය හැදීමේ කාර්යය නරක පත්තරයකින් වුව ද ඇරඹීමට අපට දෙගිඩියාවක් නැත. ඒ එය ඉතා ඉක්මනින් හොඳ පත්තරයක් කර ගැනීමට අපට ඇති අධිෂ්ඨානය නිසාය. පුවත්පත් කලාව ගැන කියන්නේ නම් අපට කියන්නට ඇත්තේ ජනරළ කර්තෘ මණ්ඩලයේ හැමදෙනාම ඒ විෂයේ සදාකාලික ශිෂ්‍යයන් බවය. අපි ඉගෙන ගන්නෙමු. ඒ නිසා අපේ පුවත්පත් කලාව පරිසමාප්තියට පත්ව එක තැන ගල් වූවක් නොව වැඩෙන්නකි, වර්ධනය වන්නකි. පෝෂණය වන්නකි. ජනරළ පුවත්පත් කලාවේ සීමාවන් ගැන එන විවේචන අපි ඉතා ගැඹුරෙන් භාර ගන්නේ එනිසාය. එහෙත් ජනරළේ අපට පාඨකයාට එකක් සහතික කර කිව හැකිය. ජනරළට ලියන්නේ ඊනියා සමබර පුවත්පත් කලාවක් අභ්‍යාස කර, එයින් කීර්තියක් උපයාගෙන, පසුව වැඩි වැටුපකට වෙනත් පුවත්පත් ආයතනයක රැුකියාවක් කිරීමට අපේක්ෂා කරන්නන් නොවේ. අප ලියන්නේ විපර්යාසකරණයක් උදෙසාය. අප ලියන්නේ අරගලය උදෙසාය. පාඨකයා ඒවා කියවන්නේ ද විපර්යාසකරණය හා අරගලය උදෙසාය.

ජනරළට කරන ලද බලහත්කාරී මැදිහත්වීම්වල දී මාධ්‍යවේදීන් අත්අඩංගුවට ගැනීම්වල දී මාධ්‍යවේදීන් පැහැර ගැනීමට තැත් කරන ලද අවස්ථාවල දී නඩු පිට නඩු පටලවා පුවත්පතේ ගමන අඩාළ කිරීමට දැරූ අවස්ථාවල දී ජනරළ පාඨකයාගේත් රටේ ප‍්‍රගතිශීලී ජනතාවගේත් ශක්තියෙන් අපි ඒ සියලූ බාධක ජය ගත්තෙමු. මර්දනය එන්නේ හමුදා, පොලිසි, සිරගෙවල්, බන්ධනාගාර, නිල නොවන ඝාතන කල්ලි හා සුදු වෑන් හරහා පමණක් නොවේ. සියල්ල මුදල මත තීරණය වන සමාජයක මර්දනයේ සාර්ථකම මෙවලම ආර්ථිකයයි. අන් බාධාවල දී මෙන් නොව මූල්‍යමය දුෂ්කරතාවල දී පාඨකයාට ජනරළට අතදීම අපහසු බව අපි දන්නෙමු. දිනෙන් දින උග‍්‍රවන මූල්‍ය දුෂ්කරතා හමුවේ ජනරළ තාවකාලිකව නතර කිරීමට අපට සිදුව තිබේ.

ඒ අනුව 2013 ඔක්තෝබර් 27 වැනිදා ජනරළ ඔබ අතට පත් නොවේ. අනතුරුව තවත් සති ගණනාවක් එය දක්නට නොලැබෙනු ඇත. එහෙත් ජනරළ නිහඬ වන්නේ වැළලී යාමට නොවේ. එය සදාකාලිකව නිහඬ වනු දක්නට කැමැති අයගේ බලාපොරොත්තු සුන් කරමින් ඉතාම ඉක්මනින්, ජනරළ නැවත ආරම්භ වේ. මේ විරාමය ගන්නේ නව ආරම්භයක් උදෙසා ශක්තිය උපදවා ගැනීමටය. ඒ අතරතුර කාලයේ දී අපි ලිබරල් සීමාවේ හිඳ සනීප විචාරවල යෙදෙන මැද පන්තිය වෙත නොව සමස්ත සමාජයම කුණු කන්දල්වල පාපයට කර ගසා ඇති පීඩිත ඔබ වෙත එන්නෙමු. එය හුදු ප‍්‍රාර්ථනාවක් පමණක් නොවේ. එය යථාර්ථයක් කළ හැකි සිහිනයකි. එළඹ ඇති දුෂ්කර මොහොතේ දී අපි පාඨකයා වෙත හැරෙමු. ලංකාවේ පීඩිත ජනයා වෙත හැරෙමු. ජනරළ පවතින්නේ අලූත් ගමනක් සඳහාය.

ඒ අලූත් ගමන ඇරඹීමට ශක්තිය ඉපදවීම උදෙසා බස් රථයක, දුම්රියක, මංමාවත් ජල ආධාර එකතු කිරීමට අපි එක් වෙමු. නාට්‍ය, චිත‍්‍රපට, සංගීත, ප‍්‍රසංග, ප‍්‍රදර්ශන හරහා ජනරළ අරමුදල තර කිරීමට රටේ හැම බිම් අඟලකදීම අපි එකතු වෙමු. අප හැම දෙනාම එකවර කෑ ගැසුවහොත් විසල් කඳු පවා බිමට පාත් වනු ඇතැයි චීනයේ විප්ලවීය නායක මා ඕ සේතුං වරක් පැවසීය. අප හැම දෙනාම එකට එක් වූ විට ජනරළ යළි ඉපදවීම අසීරු නොවනු ඇත. මෙය අවසානයක් හෝ හමාර කීමක් නොව නව ආරම්භයක පෙරවදනක් බව අප කියන්නේ එහෙයිනි. විලාසිතාවක් ලෙස විචාරය ගෙනෙන පුවත්පතක් ලෙස නොව පීඩිතයා තුළ විපර්යාසකරණ විභවය පුළුල් කිරීමේ අරුතෙන් විචාරය ගෙනෙන පුවත්පතක් ලෙස ජනරළ ඉක්මනින්ම යළි පාඨකයා අතට පත් වනු ඇත.

එතෙක් අපි නිහඬ වෙමු. නිහඬතාව යනු හඬවල් දෙකක් අතර ඇති පරතරයකි. නිහඬතාව විසින් හඟවන්නේ එක් වචනයක් අවසන් වී ඇති බව පමණක් නොවේ. අලූත් වචනයක් ළඟ එන බව ද නිහඬතාව සංකේතවත් කරයි. ඒ අලූත් වචනය සවනත ගැටෙන තුරු බලා සිටිමු. නිවැරැුදිවම කියන්නේ නම් අප බලා සිටිනවා නොව ඒ වෙනුවෙන් ක‍්‍රියාකාරී වෙමු.

‘ජනරළ කර්තෘ මණ්ඩලය‘ 2013-10-20

Posted in කාලීන | Tagged , , , , | 8 Comments

ඊජිප්තු වසන්තයේ පූදින ‘මිනී මල්’

This gallery contains 2 photos.

2011 දී ඊජිප්තුවේ තහ්රීර් චතුරශ‍්‍රයට දහස් ගණනින් එක්රැුස් වූ ජනතාව දැවැන්ත මහජන උද්ඝෝෂණයකින් පසු වසර 29ක් පුරා එරට අයෝමය හස්තයකින් පාලනය කළ ජනාධිපති හොස්නි මුබාරක්ගේ ආණ්ඩුව පෙරළා දැම්මේය. මේ යුගයේ ඊජිප්තුවේ වීදි පුරා හමා ගියේ නිදහසේ සහ ප‍්‍රගතියේ සුළ`ගයි. ඊජිප්තුවේ … Continue reading

Gallery | Leave a comment

අප්ප පුතාලගෙ මාමල බෑනලගෙ ඡන්ද කතා

This gallery contains 1 photo.

චින්තන ඒකනායක නියෝජ්‍ය ඇමැති නන්දිමිත‍්‍ර ඒකනායකගේ පුතාය. සරත් ඒකනායක ඔහුගේ සහෝදරයාය. ආනන්ද ඒකනායක ක‍්‍රීඩා ඇමැති මහින්දානන්ද අලූත්ගමගේ ගේ සහෝදරයාය. අලූත්ගමගේ වීරසිංහ ඔහුගේ මස්සිනාය. සාලිය දිසානායක උසස් අධ්‍යාපන ඇමැති එස්.බී. දිසානායකගේ සහෝදරයාය. ජයලත් දිසානායක ද ඔහුගේ සහෝදරයාය. අනුරාධ ජයරත්න අගමැති දි.මු. … Continue reading

Gallery | 1 Comment

මන්දනාගේ නිවසට මැරයන් කඩාවැදුණේ කාගේ උවමනාවටද?

This gallery contains 3 photos.

සිදුවීම් සිය ගණනක් වූ පසුවත් විරෝධයක් නැති අපේ රටේ මන්දනා ඉස්මයිල් අබේවික‍්‍රම හා රොමේෂ්ගේ නිවහනට සන්නද්ධ මැරයන් කඩාවැදීම සාමාන්‍යකරණය වී තිබේ. යුද හමුදා සොල්දාදුවන් ලෙස සිටි පිරිසක් විසින් සිදු කළ මේ ‘වික‍්‍රමය’ ගැන පුවත්පත් සාකච්ඡුාවකින් හෝ ජනමාධ්‍ය නිවේදනයකින් සෑහීමකට පත් … Continue reading

Gallery | Leave a comment